ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම "ප්‍රතික්ෂේප කරන්න"

මහින්ද රාජපක්ෂට අගමැති ධුරයේ කටයුතු කිරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම බල රහිත කිරීමේ 'කෝ වොරෝන්ටෝ' ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපතිවරයා පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන එම විරෝධතාව ඇතුළත් ඉල්ලීම ඉදිරිපත් කළේ සිකුරාදා (30) එය සලකා බැලූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා ඇතුළු හතළිස් නව දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මේ ගැනත් දැනගන්න:

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් අධිකරණයට කරුණු දක්වමින්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත වී ඇති බව කියා සිටියේය.

ඊට අදාල හැන්සාඩ් වාර්තා ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

මෙවන් තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා පත්කළ අග්‍රාමාත්‍යවරයාට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බව ජනාධිපති නීතිඥ කණගීස්වරන් පැවසීය.

මෙහිදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින් පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින්, විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කියන හැන්සාඩ් වාර්තාවේ අන්තර්ගත තොරතුරු අසත්‍ය හා සාවද්‍ය බව ප්‍රකාශ කළේය.

අදාළ විශ්වාසභංග යෝජනා සම්මත වී ඇති හෙයින්, කිසිදු මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා හෝ ඇමතිවරුන් ලෙසින් පිළිනොගන්නා බව කතානායක කරු ජයසූරිය පසුගිය නොවැම්බර් 15 වෙනි දින පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිකව අත්හිටුවමින් පසුගිය නොවැම්බර් 13 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

තවදුරටත් කියවන්න:

නමුත්, මෙම විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවේ විධිමත්ව සම්මත වී තිබේද නැද්ද යන්න තීන්දු කිරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන වලට අනුව අධිකරණයට කිසිදු බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් අධිකරණයට පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පැවසූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන් ද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැය ශිර්ෂ සීමා කරමින් යෝජනාවක් සම්මතවේ

මේ අතර, රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ජනරජයේ මුදල් අනුමත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බවට වූ යෝජනාවක් සිකුරාදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ ඔහුට සහය දක්වන පාර්ශ්වය තුන්වෙනි දිනයටත් පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීමෙන් වැලකී සිටියේය.

"2018 නොවැම්බර් මස 15 වෙනි දින සිට අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා වැටුප් හා අනෙකුත් පාරිශ්‍රමිකයන් ගෙවීම පිණිස ජනරජයේ අරමුදල් වෙතින් කිසිදු වියදමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බව," සම්මත කරගත් යෝජනාවේ සඳහන්වේ.

එසේම, "විදේශ සංචාර, හෙලිකොප්ටර් යානා භාවිතය ඇතුළු අභ්‍යන්තර ගුවන් සඳහා ඇති වූ වියදම් පියවීම ද තහනම්" බව එහි සඳහන්ය.