මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුවෙන් භාරකාර ආණ්ඩුවක්?

Maithreepala Sirisena and Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, AFP

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පසුගිය සතිඅන්ත සිංහල පුවත්පත් ගණනාවකම ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබිණි.

"ශ්‍රීලනිප - පොහොට්ටු භාරකාර ආණ්ඩුවක්?" යනුවෙන් ඉරිදා ලංකාදීප පුවත්පත සිරස්තල පළකරද්දී, ඉරිදා ලක්බිම පුවත්පතේ මුල් පුවත බවට පත් වූයේ "ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්" යනුවෙනි. ඉරිදා රිවිර පුවත්පතේ මුල් පුවත වූයේ ද "අයවැයට පෙර භාරකාර රජයක්, මෛත්‍රී-මහින්ද රහස් හමුවක්" යනුවෙනි.

වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වී රටේ මහජනතාව බරපතළ පීඩනයකට ලක් වී ඇති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කර ජාතික මැතිවරණයක් පැමිණෙන තෙක් රට පාලනය කළ යුතු බව මෙම භාරකාර ආණ්ඩු සාකච්ඡාවේ අරමුණ වී ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

මෛත්‍රී-මහින්ද හමුවක් ?

භාරකාර ආණ්ඩු සංකල්පය ගැන සාකච්ඡා කිරිම සඳහා පසුගිය සතියේ හිටපු අමාත්‍ය එස්බී දිසානායකගේ නිවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර රහසිගත හමුවක් පැවති බවට විවිධ වාර්තා පළ විය. එවැනි සාකච්ඡාවක් පැවතුණු බව හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තහවුරු කර ඇති නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළිකිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

'සන්ඩේ ටයිම්ස්' පුවත්පත මෙම සාකච්ඡාව ගැන දීර්ඝ විස්තරයක් පළ කර තිබූ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව එහි සඳහන් කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කර මෛත්‍රී-මහින්ද පාර්ශව එකතු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් විය.

විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුව පවත්වාගෙන යෑම අපහසු යැයි ජනපති මෛත්‍රීපාල එහි දී පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

Maithreepala Sirisena and Ranil Wickremasinghe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙලෙස මෛත්‍රී-මහින්ද සාකච්ඡාවක් පැවැත්වුණු බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය යළි උණුසුම් වෙනු දක්නට ලැබිණි. එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක්විය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පරාජයට පත් වූවානම් එතුමන් පොලොවෙන් අඩි හයක් යට වළලන්නට සැලසුම් කළ පිරිසට පවා අද ජනාධිපති හමුවීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙලෙස භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැනත් මෛත්‍රී-මහින්ද හමුව ගැනත් විවිධ ප්‍රකාශ සිදුවෙද්දී හිටපු අමාත්‍ය එස්බී දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමන්ගේ නිවසේ එවන් හමුවක් නොපැවැත්වුණු බවය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් පැවති බවට වූ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ද විශේෂත්වයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ "ඉරිදා දින එවන් හමුවක් සිදු නොවූ" බවය. වෙනත් දිනයක එවැනි හමුවක් පැවැත්වුනේද නැද්ද යන්න ඔහු සඳහන් නොකළේය.

Maithreepala Sirisena and Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ද භාරකාර ආණ්ඩුවක් ගැන පළවූ වාර්තා ගැන විවිධ අදහස් පළකර තිබු අතර ඇතැමුන් ඊට අකමැත්ත පළකර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් පැවසුවේ භාරකාර ආණ්ඩුව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ විවිධ මත ප්‍රකාශ වන බැවින් ඒ පිළිබඳ අවසාන තීරණයකට එළැඹ නොමැති බවය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ඉතා ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසය.

"රනිල් ඇතුලු හයිබ්‍රිඞ් හවුල මේ රට 'වළ පතුලට' ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් 'උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ' යන කියමන සනාථ වේවි," ඔහු කියා සිටියේය.

මේ සියල්ලටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය වූයේ පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී බලය ඇත්තේ තම පක්ෂයට නිසා එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ද තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බවය.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතුකරන්නේ නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට සූදානම් බව සඳුදා දින එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කියැවිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 10ක් 12ක් පමණ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සඳහා දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Maithreepala Sirisena and Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto/ Getty Images

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාග අවසන් අදියරට පැමිණ ඇති බැවින් ඔවුන් කෙසේ හෝ ආණ්ඩුවක් ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක නියැලෙන බවය.

මේ අතර බදාදා (ඔක්ත්ජෝබර් 10) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක: "දැනට අපිට තිබෙන විශ්වාසදායි තොරතුරු අනුව මෛත්‍රී-මහින්ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රී ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල අල්ල යනවා,"යනුවෙන් පැවසීය.

"ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමන් වළ පල්ලට යවනවා කියපු කෙනාට අගමැති තනතුර දීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ජන්දය දුන්නු ජනතාව හෝ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ජන්ද දායකයන් හෝ සහයක් ලබා නොදෙන බව අපට විශ්වාසයි."

මේ අතර දේශපාලන විචාරකයකු සහ කැෆේ මැතිවරණ නිරීක්ෂක සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ භාරකාර ආණ්ඩු සංකල්පය මේ මොහාතේ ශ්‍රී ලංකාවට අදාළ නොවන බවය.

"ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ හෝ නැති හින්දා පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වෙන පරිසරයක් වත් නැති හින්ද මේ භාරකාර ආණ්ඩුව කියන සංකල්පයම ලංකාවට අදාළ වෙන්නේ නැහැ. අනිත් අතට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකාර ආණ්ඩු ගැන සඳහනක් නැහැ අනිත් රටවල වගේ," ඔහු පැවසීය.

පාර්ලිමේන්තු බලය තවමත් එජාපයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 107 දෙනෙකුම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පෙරමුණය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරු ප්‍රමාණය 16කි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දැනට ආණ්ඩුවේ අමාත්‍ය පදවි උසුලන සහ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් ගණන 26කි. ඒ සියළු පාර්ශව එකතුකළත් මෛත්‍රී-මහින්ද සන්ධානයක් සඳහා මන්ත්‍රීවරුන් සිටින්නේ 96ක් පමණි.

Maithreepala Sirisena and Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, UNP

ඒ අනුව ආණ්ඩු වෙනසක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 ලබාගැනීම පිණිස ඔවුන්ට තවත් මන්ත්‍රීවරුන් 17ක පමණ සහාය අවශ්‍යවේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු තේරී පත්ව සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16ක් සිටිති.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ පැවති විශ්වාස භංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට සහාය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම පිණිස එම පක්ෂ දෙකම සහාය පළකිරීම අවිනිශ්චිත බැවින්, මේ ආණ්ඩු වෙනස්කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නම් මෛත්‍රී-මහින්ද සන්ධානයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයකි.

තවත් කියවන්න: