ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ට ජනපති සිරිසේන 'දෙහි කපයි'

president sirisena

ඡායාරූප මූලාශ්‍රය, PMD

දිගින් දිගටම තමා සම්බන්ධයෙන් පැතිරෙන වැරදි අර්ථකතන සම්බන්ධයෙන් කනගාටු වන අතර ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විවෘත සංවාදයකට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති සමරුවට අද (මැයි 30) එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කතාව තුළදී ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වකරුවන්ට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

"රටට නොගැලපෙන යෝජනා" කැබිනට් මණ්ඩලය හමුවට ගෙනෙනු ලැබූ විට ඒවා බැහැර කෙරුණේ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සිටි නිසා" වැනි කරුණු ඉස්මතු කිරීම හරහා ජනාධිපතිවරයාගේ කතාව ඉලක්ක වූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය වෙත බව පෙනෙන්නට විණි.

'දින සියයේ වැඩපිළිවෙල' සකස් කළේ කවුදැයි තමන් නොදන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දින 100 වැඩපිළිවෙල
ඡායාරූප ශීර්ෂ වැකිය, දින 100 වැඩපිළිවෙල

සිය කතාව තුළ ජනාධිපතිවරයා මතු කළ මූලික කරුණු කිහිපයක් මෙසේය:

  • "මේ උත්සවයට (සෝභිත හිමි සමරුව) මට ආරාධනයක් නැහැ, කිසිම දැනුම්දීමක් නැහැ, මේ රටේ අනිත් දේවල් සිද්ධවෙන්නෙත් එහෙමයි"
  • ජනපතිට පෙර සභාව ඇමතු ස්වාමින්වහන්සේ නමක් පැවසුවේ ජනපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය බාරගැනීම නිසා "රොටිය පිච්චීම වෙනුවට රොටිය ඇට්ටකුණා වෙන්න ඉඩ තියෙනවා" යනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් පුරෝකථනය කළ බවය. ඊට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ "හාමුදුරුවනේ රොටිය අට්ටකුනා වෙච්ච හැටියි කන්න බැරුව කරවෙච්ච හැටියි මට හොඳට කියන්න පුළුවන්, ඔබ වහන්සේට නෙවෙයි ඔය කියන වෙන අයට, මාත් එක්ක සංවාදෙකට එනවනම්"
  • මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් හා තමන් පිළිබඳ සැසඳීමක් සහිතව ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් පෙන්වමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා "මහාතීර් මොහොමඩ් මහත්තයා කළා කියලා වැඩ වගයක් දාලා තියෙනවා දවස් 5න්, මගේ පැත්තෙන් දාල තියෙනවා අවුරුදු 3 ක් ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක, මේකේ තියෙන විදිහට ඇමතිවරු, ව්‍යාපාරිකයන්, විනිසුරුවරුන් අත්අඩංගුවට ගෙන නැහැ මැලේසියාවේ, දවස් පහෙන් මේවා කරානම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි"
  • "පැරදුනු මහින්දට රාජපක්ෂ මහත්තයලට හෙලිකොප්ටර් දුන්නේ මම නෙවෙයි" ජනාධිපතිවරණ පරාජයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මැදමුලනට යාමට හෙළිකොප්ටර් යානයක් ලබාදුන්නේ තම අනුදැනුම මත නොවන බව ජනපති පැවසීය. "ගුවන් හමුදාපති කියනවා, එතකොට එය දෙවෙනියා ජනාධිපතිතුමා කිව්වයි කියලා අහවලා කිව්වා කියලා. මම මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ"
  • " දින 100 වැඩසටහන තමයි කරගත්ත මෝඩම වැඩේ" එවක ජනාධිපතිවරණ වැඩපිළිවෙල තුළ ප්‍රකාශයට පත්කළ දින 100 වැඩපිළිවෙල තමන් නොදැනුවත්ව ඇතුළත් කළ එකක් බව පැවසූ ජනාධිපති සිරිසේන "ඔලුවක් තිබුනානම් කරන්න තිබුනේ මම දිනපු දා රෑ පාර්ලිමේන්තුව විසිරුවන එක"
  • "රටට නොගැලපෙන යෝජනා කැබිනට් මණ්ඩලයෙන් බේරාගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සිටි නිසා" යැයි කී ජනාධිපතිවරයා සඳහන් කළේය. රාජ්‍ය බැංකුවල මුදල් පුද්ගලික අංශයට නිදහස් කිරමේ කැබිනට් යෝජනාවක් තමන් මාස 3 ක් සටන් කර ප්‍රතික්ෂේප කළ බව පැවසුවේ "ඒක සම්මත වුනානම් අද ලංකා බැංකුව නැහැ, මහජන බැංකුව නැහැ, ඉතිරි කිරීමේ බැංකුව නැහැ" යැයි පවසමිනි.
  • "මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයෙක් දමා ආණ්ඩුවක් හැදුවේ මහා බැංකුව කොල්ලකනන්ට නොවේ" යැයි ජනපති පැවසුවේ මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නැගුනු චෝදනා හමුවේ අමාත්‍ය ධුරය අහිමිවූ රවී කරුණානායක ද සභාවේ ඉදිරියෙන්ම අසුන් ගෙන සිටියදීය.
  • "නඩු කෙරෙන්නේ නැත්තේ මං හින්දලු ?" දිගින් දිගටම තමා පිළිබඳව දෙන වැරදි අර්ථකතන ගැන කණගාටු වන බව කී ජනපති "රගර් ක්‍රීඩක තාජුදින්ගේ පවුලේ අයයි පැමිණිල්ලේ නිතිදිනුයි එක තැනකට ගෙනල්ල හිමින් අහන්න ඔවුන් වෙච්ච දේවල් කියයි"
  • "සෝභිත හාමුදුරුවනේ, ඔබ වහන්සේ උඩ ඉන්නවනම් දෙවියෙක් වෙලා, සෝභිත හාමුදුරුවනේ ආශිර්වාද කරන්න සත්‍ය දේ මේ රටට හෙළිවිය යුතුයි කියලා" අවුරුදු 3 1/2 සිදුවී ඇති බරපතල වැරැද්ද නිවැරදි කිරීමට දැන් කාලය පැමිණ ඇති බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩනයට පසුගියදා පැමිණි අවස්ථාවේදී බීබීසී සිංහල සේවය සමග කළ විශේෂ සාකච්ඡාව මෙතනින් නරඹන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාව