භාරත ලක්ෂ්මන් ඝාතනය: දුමින්ද සිල්වා ගැන මේ කරුණු දැන සිටියාද?

2011 වසරේ ඔක්තෝබර් 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට පැනවූ මරණීය දණ්ඩන නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව බ්‍රහස්පතින්දා (ඔක් 11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ නොවැම්බර් 27 වෙනිදා තීරණය කළ අතර, එම පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ විය.

දුමින්දට මරණ දඬුවම නියම වුණේ ඇයි?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි බව බවය.

මේ හේතුවෙන් මෙම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පනවන බව පවසා සිටියහ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය.

එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 ක් විය. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය.

2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යාමෙන් පසු ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය.

2015 අප්‍රේල් 01

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 12 දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ 2015 වසරේ අප්‍රේල් මස 01 වෙනිදාය. ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.

2015 අගෝස්තු 04

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය. මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූ අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බීඑස්. මොරායස් පත් කෙරිණි.

2015 අගෝස්තු 06

මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මොවුන්ට නගා තිබූ චෝදනා වූයේ, 2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම යනාදී කරුණුය.

අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියහ.

2016 සැප්තැම්බර් 08

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය.

කවුද මේ දුමින්ද සිල්වා?

දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වි

එම අවදියේ ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් ද පැවැත්විය.

දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ, 2007 වසරේදීය.

ඒ අතරතුර, ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය විය.

ඒ සම්බන්ධයෙන්, එවක අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා බීබීසී සංදේශය වැඩසටහන සමග පැවසුවේ, දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි තිබුණේ නම් එවක නීතිපති මොහාන් සිල්වා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගනු ලැබීම "වැරදි" අතර නීතිපතිවරයාට එවැනි බලයක් නොමැති බවය.

ළමා අපචාර සම්බන්ධයෙන් වූ චෝදනාව දුමින්ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවකට ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල විය.

අදාළ චෝදනා දුමින්ද සිල්වා ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය පැවති වකවානුවේ මාස කිහිපයක් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.