ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විනිසුරුවරියක් දුමින්ද සිල්වා හමුවීම 'ආචාර ධර්මවලට පටහැනියි'
විනිශ්චයකාරවරියක මරණ දඬුවමට ලක් කර සිටින පුද්ගලයකු හමුවීමට යාම සිය වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.
එහි සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ ඒ බව කියා සිටියේ විනිසුරුවරියක මරණ දඬුවමට ලක් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරයට යාම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
නඩු විභාගයක් සඳහා බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ විනිසුරුවරියක දුමින්ද සිල්වා හමු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය.
කෙසේ නමුත් සිරකරුවන් බැලීමට නියමිත වේලාවෙන් පසුව විනිසුරුවරිය දුමින්ද සිල්වා හමු වූ බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බවත් තුෂාර උපුල්දෙණිය පැවසීය.
මාධ්‍යවල පළ වන ආකාරයට විනිසුරුවරිය රාත්‍රී කාලයේ සිරකරු හමු වී නොමැති බව සඳහන් කළ ඔහු, ඇය දුමින්ද සිල්වා හමු වී තිබෙන්නේ සවස දෙකට පමණ බවත් වැඩිදුරටත් පැවසීය.
ඒ පිළිබඳව අදහස් දක්වන නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පවසන්නේ "අධිකරණ නිලධාරියෙක් මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු මුණගැසීමට යාම විනිශ්චයකාරවරුන්ගේ ආචාර ධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනි," බවයි.
විශේෂයෙන්ම දුමින්ද සිල්වා සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විනිසුරුවරිය ඔහු හමුවීමට යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය.
නියමිත වේලාවෙන් පරිබාහිරව සිරකරුවන් හමුවීමට කිසියම් ලෙසකින් බන්ධනාගාර බලධාරීන් අවසර දී තිබෙන්නේ නම් එහිදී බන්ධනාගාර නිලධාරීන් මෙන්ම එසේ සිරකරු හමු වූ පුද්ගලයාත් නීතිය උල්ලංඝනය කර තිබෙන බවත් මානව හිමිකම් නීතිවේදියා වැඩිදුරටත් පැවසීය.