යාපනය දැරිය ඝාතනය: මාමාවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්

දැරියගේ අවසන් කටයුතු 26 වෙනිදා සවස යාපනය තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදු කෙරිණි
ඡායාරූප ශීර්ෂ වැකිය, දැරියගේ අවසන් කටයුතු 26 වෙනිදා සවස යාපනය තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදු කෙරිණි

පසුගිය සඳුදා (ජුලි 25) යාපනය කාට්ටුපුලම්, සුලිපුරම් ප්‍රදේශයේ පොදු ළිඳක වැටී සිටියදී සොයා ගනු ලැබූ පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ජුලි 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

සිකුරාදා (ජුනි 29) අත්අඩංගුවට ගනු ලැබූ ඉහත කී සැකකරුවන් දෙදෙනා යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට සෙනසුරාදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 17 ත් 18 ත් අතර වයසේ පසුවන ඝාතනයට ලක්වූ දැරියගේ මාමාවරුන් දෙදෙනෙකු බවය.

ඝාතනය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් දැරියගේ 22 හැවිරිදි බාප්පා කෙනෙකු ද ජුලි 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය 27 වෙනිදා කළේය.

ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු දෙමාපියන් සහ ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද 26 වෙනිදා සවස යාපනය සුළිපුරම් තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදු කෙරිණි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වුණු අතර, ගෙල සිරකොට ඇය ඝාතනය කොට ඇතැයි එහිදි අනාවරණය වු බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසීය.

දැරියගේ මෘත ශරීරය හමු වූයේ පොදු ළිඳක තිබියදීය
ඡායාරූප ශීර්ෂ වැකිය, දැරියගේ මෘත ශරීරය හමු වූයේ පොදු ළිඳක තිබියදීය

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ දැරිය 25 වෙනිදා පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී නිවස ආසන්නයේ ළිඳක තිබි ඇයගේ මළසිරුර සොයාගත් බවය.

දැරිය අතවරයට ලක්ව තිබේ දැයි සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

කෙසේවෙතත්, දැරිය දුෂණයට ලක්ව ඇති බවක් මූලික මරණ පරීක්ෂණයෙන් හෙළි වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.