Fake News: ඥානසාර හිමි, සන්ධ්‍යා එක්නැලිගොඩ සහ 'ස්වාමීන් වහන්සේලාගේ කුණුහරුප'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමාජ මාධ්‍ය යොදාගෙන කෙරෙන ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ආකාරයේ වෛරී ප්‍රකාශ, ව්‍යාජ පුවත් හා අසැබි වදන් ගැන නැවත වතාවක් ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
ඒ අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ, සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ඉලක්ක කරගෙන දිගින් දිගටම සිදුකරන වෛරී ප්‍රකාශ හා පළ කෙරෙන ව්‍යාජ පුවත් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුවය.
හෝමාගම අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැළිගොඩට ප්‍රසිද්ධියේ බැන තර්ජනය කිරීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කෙරිණ.
එහිමියන් බන්ධනාගාරගත කළ දින සිට සංවිධානාත්මකව සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සහ සිය දරුවන්ට මරණ තර්ජන එල්ලවන අතරම ඉතා නින්දිත ආකාරයේ අසභ්‍ය වාර්තා පළ කරන බව ද ඇය පොලිසියට කළ පැමිණිල්ලේ දක්වා තිබේ.
'ස්වාමීන් වහන්සේලා පවා කුණුහරුප කියනවා'
"මට සංවිධානාත්මකව මඩ ගහනවා. මාව කොටියෙක් කරලා, මම දන්නේ නැහැ පුදුම විදිහේ කුණුහරුප ඒකේ තියෙනවා. ඒ අය කියනවා මගේ දරුවන් මරලා මට කන්න දෙනවා කියලා. ඒක වක්‍රව කරන මරණ තර්ජනයක්," සන්ධ්‍යා එක්නැළිගොඩ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල ගැන බීබීසී සිංහල සේවය වෙත කරුණු දැක්වුයේ එලෙසය.
"මිනිස්සුන්ට තමන්ට දෙයක් සිද්ධ වෙනකම් ඒ දුක දැනෙන්නේ නැහැ. ඒකෙ තියෙන සැහැසිකම, කුරුරි බව ඒ අයට අත්දැකීමක් ලැබෙනකම් දැනෙන්නේ නැහැ," තමන් සහ දරුවන් මුහුණදෙන මානසික පීඩනය ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියාය.
"ගොඩක් කණගාටුයි. ස්වාමීන් වහන්සේලා පවා ඒගොල්ලන්ගේ ෆේස්බුක් පිටුවල මගේ රූපය විකෘති කරලා දාල, කුණුහරුප කියනවා. විශේෂයෙන්ම මගේ ළමයි මරණයට පත්වෙන්න ශාප කරනවා. බෞද්ධ සාහිත්‍යයට අනුව මම පටාචාරාවක්. කවදාවත් බුදු හාමුදුරුවෝ පටාචාරාවට පිහිටවුනා මිසක් ගල් ගැහුවේ නැහැ."
සමාජ මාධ්‍ය විශේලේෂක හා ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියේ කතුවරයා වන සන්ජන හත්තොටුව පෙන්වාදෙන පරිදි සන්ධ්‍යා එක්නැළිගොඩට එරෙහිව පළවන විවිධ ප්‍රකාශන මෑතකදී ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුවත් සමග වැඩිවීමක් දක්නට ලැබුනත් එවැනි ප්‍රකාශ රැසක් දැන් වසර ගණනාවක සිට පළවෙමින් තිබේ.
"වසර ගණනාවක සිට හිතාගන්න බැරි ආකාරයේ වෛරී ප්‍රකාශවලට ඇය මුහුණදී තිබෙනවා. ෆේස්බුක් සමාජ මධ්‍යයේ ඇයව මරණ ලෙස, දුෂණය කරන ලෙස, අතුරුදහන් කරන ලෙස පළකර ඇති ප්‍රකාශන අති විශාලයි. ඇගේ දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින ලෙස ඉල්ලන ප්‍රකාශත් එහි අඩංගුයි," බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සන්ජන හත්තොටුව කියා සිටියේය.
ඔහු පවසන පරිදි පසුගිය වසර 3,4 කාලය තුළ එලෙස සන්ධ්‍යා එක්නැළිගොඩට එරෙහිව පළකර ඇති වෛරී ෆේස්බුක් ප්‍රකාශන 400කට පමණ ප්‍රතිචාර පමණක් 12,000ක් පමණ ලැබී තිබෙන අතර ඒවාට කැමැත්ත පළකර ඇති ප්‍රමාණය 220,000ක් පමණ වේ. ඇය ගැන පළවී ඇති ප්‍රකාශනවලට පළකර ඇති කමෙන්ට් හෙවත් අදහස් හා පුදගලික ෆේස්බුක් ගිණුම්වල පළ කළ කරුණු මෙම දත්තවලට ඇතුළත් නැත.
"මම මේ ගැන කරපු විශ්ලේෂණයේදී දැකපු දෙයක් තමයි මේ බොහෝ කරුණු ව්‍යාජ පුවත් හා වැරදි තොරතුරු මත පදනම්වූ ඒවා," ඔහු පැවසීය.
ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවත් මෙලෙස ඇයට එරෙහිව වෛරී ප්‍රකාශ වැඩිවීමට හේතුවී තිබේ.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
2015දී සන්ධ්‍යා එක්නැළිගොඩ සම්බන්ධයෙන් එලෙස පළ කළ වෛරී අදහසක් 14,000කට අධික පිරිසක් හුවමරුකරගෙන තිබු අතර පසුව ෆේස්බුක් සමාගම එම ප්‍රකාශය ඉවත්කිරීමට කටයුතු කොට තිබුණි.
වෛරී අදහස් 'ඉවත් කළ යුතුයි'
කෙනෙකුගේ ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හෝ ලිංගික නැඹුරුව ගැන පදනම් වී කරන ද්වේෂ සහගත ප්‍රකාශයන් වෛරී ප්‍රකාශ ලෙස හඳුන්වන අතර එම ප්‍රකාශයන් මගින් ප්‍රචණ්ඩත්වයට උසි ගැන්වීමක් සිදුවේ නම් ඒවාට දැඩි ලෙස නීතියෙන් වුවද ක්‍රියාත්මක විය හැකිය.
සන්ධ්‍යා එක්නැළිගොඩ තමන්ට එරෙහිව සිදුව ඇති වෛරී ප්‍රකාශ හා තර්ජන ගැන මාධ්‍ය හමුවක පසුගිය 25 පළ කළ අදහස් සහිත පුවත්වලටද සමාජ මාධ්‍යවල තවත් වෛරී අදහස් කමෙන්ට් ලෙස පළකර තිබුණු දක්නට ලැබිණි.
ප්‍රධාන පෙලේ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සමාජ මාධ්‍ය පිටුවල සන්ධ්‍යා එක්නැළිගොඩ සම්බන්ධයෙන් පළකර ඇති පුවත්වලට වෛරී අදහස් පළ කිරීමට ඉඩක් දී ඇති බවද සන්ජන හත්තොටුව පෙන්වාදෙයි.
විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තමන්ගේ සමාජ මාධ්‍ය පිටුවල කමෙන්ට් ලෙස පළ කරන වෛරී අදහස් ඉවත්කිරීම නිරන්තරයෙන් සිදු කළ යුතු බව සමාජ මාධ්‍ය විශේලේෂක සන්ජන හත්තොටුව කියා සිටී.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අසමගිය හා ප්‍රචණ්ඩත්වය ඇතිකරන ආකරයේ වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් පළකිරීම් ෆේස්බුක් සමාජ මධ්‍යයේ පසුගිය කාලයේ දක්නට ලැබුණු අතර මහනුවර සිදුවූ ජාතිවාදී ප්‍රහාරවලින් පසුව එහි යම් අඩුවීමක් දක්නට ලැබුණි. ඒ පොලිසිය එලෙස අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදුකළ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර ෆේස්බුක් සමාගමට පැනවූ තාවකාලික තහනමත් සමග සිංහල භාෂාව කතාකරන පිරිස් වැඩි වශයෙන් බඳවා ගෙන ඉක්මනින් එවැනි ප්‍රකාශ ඉවත්කිරීමට කටයුතු කරන බව සමාගම ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් කාන්තා ක්‍රියාකාරිනියක් වන මරීසා ද සිල්වා පවසන්නේ තවමත් මෙවැනි ප්‍රකාශන ඉවත්වීම සිදුවන්නේ ඉතා මන්දගාමිව බවය.
"මගේ ඡායාරූපය සහිතව ඡායාරූපයක් පළවුනා ඉතා වෛරී ප්‍රකාශයක් එක්ක. නමුත් ඒක ඉවත්කරන්න දින 3ක් ගියා එතකොට 7,000කට වඩා ඒක හුවමාරු කරලා තිබුනා. ඉතා පහත් ආකරයට ඇතැම් අය ප්‍රතිචාර පළකර තිබුනා ලිංගික කාරණා පවා මුල්කරගෙන," මරිසා ද සිල්වා බීබීසි සිංහල සේවයට කියා සිටියාය.
මහනුවර ජාතිවාදී කෝලාහලය සිදුවූ අවස්ථාවේ රජය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ වැළැක්වීම සඳහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද අවස්ථා ගණනාවක සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල සිදුකරන අසභ්‍ය වචන, වෛරී ප්‍රකාශ හා අසත්‍ය පුවත් ගැන දැඩි ලෙස අදහස් දක්වා ඇති අතර ඒවා පාලනය කිරීමක් සිදුකළ යුතු බවටද අදහස් දක්වා තිබේ.
ජනාධිපතිවරයා දිගින් දිගටම පවසන්නේ සමාජ මාධ්‍ය යොදාගෙන සිදුකරන "මඩ ගැසීම්" සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය.
කෙසේ වෙතත් වෛරී ප්‍රකාශ මර්දනයේ මුවාවෙන් තමන්ට එල්ල වන මහජන විවේචන ද මර්දනයට ජනාධිපතිවරයා හා රජයට හැකි බැවින් සමාජ මාධ්‍ය පාලනයකට නීතිරීති ගෙන ඒමට කිසි ලෙසකින් අවස්ථාව ලබා නොදිය යුතු බව සමාජ ක්‍රියාකාරීහු පවසති.
එවැනි වෛරී හා හිංසනයට ලක් කරන ප්‍රකාශ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට දැනටමත් අවශ්‍ය බලය තිබෙන බව ඔවුහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන පරිදි "සමාජ මාධ්‍ය හරහා මඩ ගසනවා" යන අවලාදයට පදනම් වන්නේ සමාජ මාධ්‍ය නොවන වෙබ් අවකාශයන් ද සමාජ මාධ්‍ය ලෙස වරදවා තේරුම් ගැනීම හේතුවෙනි.
"පුවත් වෙබ් අඩවි හා ගොසිප්/ඕපාදූප වෙබ් අඩවි කිසිවක් සමාජ මාධ්‍ය නොවෙයි. ඒවා සංවිධානගත පිරිස්, තමන්ගේම වෙබ් ලිපිනයන්හි පවත්වාගෙන යන වෙබ් ප්‍රකාශනයි. එයින් සමහරෙක් වැරදි සහගත, ද්වේෂ සහගත හා මුළුමනින් ආචාරධර්ම බිඳ හෙළන අන්තර්ගත පළවන බව ඇත්තයි. රජයට ඕනෑ නම්, හැකි නම් ඒවා නියාමනයට ලක් කරන්න. කලෙක සිට අප කියන්නේත් එයයි," නාලක ගුණවර්ධන මේ සම්බන්ධයෙන් පළ කළ ලිපියක සඳහන් වේ.
"යම් මට්ටමක නියාමනයක් ගේන්න වෙනවා වෙබ් සහ සමාජ මාධ්‍ය භාවිත කරන අය දිගින් දිගටම මේ ආකාරයට වෛරී කථනය හා ව්‍යාජ පුවත් පළ කරනවානම්. ඒ නිසා අපේ අයිතිය නිදහස රැක ගන්නට නම් අපි පෙළ ගැහෙන්න ඕනේ මෙවැනි අවභාවිතයන් සිදුකරන සුළුතරය හදාගන්න එහෙම බැරිනම් ඔවුන්ට නීතිමය වශයෙන් ක්‍රියාකරන තැනට අපි රජය යොමුකරන්න ඕනේ," මේ ගැන බීබීසි සිංහල සේවයට වැඩිදුරටත් අදහස් දක්වමින් නාලක ගුණවර්ධන කියා සිටියේය.
"කෙනෙක් පාරේ කෙළ දැම්මම අපි කරන්නේ පාර වහල දාන එක නෙවෙයිනේ?, එසේ කරන අය අල්ලගෙන වරද පෙන්වල දෙනවා දිගින් දිගටම වැරදි කරනවානම් දඬුවමක් දෙනවා," යනුවෙන් පවසන නාලක ගුණවර්ධන අවධාරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සුළුතරයක් කරන වැරදි නිවැරදි කිරීම සිදුකරනවා මිස ඊට එරෙහිව සමාජ ජාලවලට තහංචි පැනවීම නොවන බවය.
තවත් කියවන්න:













