චීන කර්මාන්තශාලාව: "ශ්‍රී ලංකාව චීන කොලනියක් කරන්න හදනවා"

Protest in Sri Lanka against a Chinese development
ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ජාතිකයන් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවතලන අළු (Fly Ash) උපයෝගී කරගනිමින් චීන ජාතිකයන් විසින් සිය ප්‍රදේශයේ සිදුකරන ඉදිකිරීම් වහා නතර කරන ලෙස ඉල්ලා මුන්දලම ප්‍රදේශයේ ගම්මාන කීපයක ජනතාව විරෝධතාවක නිරතව සිටියහ.

චීන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ බලහත්කාරයෙන් සිය රට 'චීන කොලනියක්' බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවට ඔවුහු චෝදනා කළහ.

එම විරෝධතාව ආරම්භ වූයේ මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටිනි. පසුව උද්ඝෝෂකයෝ හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයට පැමිණි අතර එයට ප්‍රදේශයේ ආගමික නායකයෝ ද එක්ව සිටියහ.

බලධාරියෙකු පැමිණෙන තෙක් විරෝධතාව අත් නොහරින බව උද්ඝෝෂකයන් පැවසීම හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට කැඳවීමට පොලිසියට සිදු විය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ඒ අවස්ථාවේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඒඑම්සිඑම් ප්‍රේමසුරිය ප්‍රකාශ කළේ, අදාළ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා තමන්ගෙන් අනුමැතිය ලබා ගත යුතුව ඇතත් මේ වනතෙක් ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති බවය.

එහිදී වහාම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් නතර කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට තමන්ට බලයක් නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කිරීමත් සමග නොසන්සුන් වූ විරෝධතාකරුවෝ බලධාරියෙකුගෙන් ස්ථිර පිළිතුරක් ලැබෙන තෙක් දිගටම විරෝධතාවේ නිරත වන බවට ප්‍රතිඥා දුන්හ.

Protest in Sri Lanka against a Chinese development
ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයෝ ද එක්ව සිටියහ

මේ තොරතුරුද කියවන්න:

මේ අතර, අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරන තෙක් තාවකාලිකව ඉදිකිරීම නතර කරන බව මුන්දලම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය මාර්ගයෙන් ජනතාව ඇමතූ පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හෙක්ටර් අප්පුහාමි පැවසීය.

Protest in Sri Lanka against a Chinese development
ඡායාරූප ශීර්ෂ වැකිය, මුන්දලම ප්‍රදේශයේ කළු කොඩි ඔසවා තිබූ අතර, වෙළෙඳ සල් වසා දමා තිබුණි

මෙම කර්මාන්ත ශාලාවෙන් ඉවතලන වැසිකිළි අපද්‍රව්‍ය නල මාර්ග ඔස්සේ ප්‍රදේශයේ ඇල මාර්ග වෙත මුදා හැර ඇති බව ද විරෝධතාකරුවෝ පැවසූහ.

'අනුමැතියක් නෑ'

මේ පිළිබඳ කළ විමසීමකදී කර්මාන්ත ශාලාවේ පරිපාලන සම්බන්ධීකරණ කළමනාකරු චන්න රත්නායක ප්‍රකාශ කළේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයෙන් සිදුවන පරිසර විනාශය අවම කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවය.

Protest in Sri Lanka against a Chinese development
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවා තිබිණ

කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා කිසිදු ආයතනයකින් අනුමැතියක් ලැබී නොමැති වුවත් වයඹ පළාත් පරිසර අධිකාරියෙන් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යෑම සදහා නිර්ණායක ලබා දී ඇති බව ද චන්න රත්නායක පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයෙන් ඉවතලන අළු (Fly Ash) යොදා ගනිමින් බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවන ලද අතර මින් කිසිදු පරිසර හානියක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විරෝධතාව අතරතුර මුන්දලම ප්‍රදේශයේ කළු කොඩි ඔසවා තිබූ අතර, වෙළෙඳ සැල් වසා දමා තිබුණි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා තිබුණි.

මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ද මේ වනවිට පවත්වාගෙන යන්නේ වාර්ෂික පරිසර බලපත්‍රයක් නොමැතිව බව වයඹ පළාත් පරිසර අධිකාරිය පවසයි.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවට දරුවන්ට චර්ම රෝග වැළඳී ඇති අන්දම පසුගියදා බීබීසී සිංහල සේවය අනාවරණය කළේය
ඡායාරූප ශීර්ෂ වැකිය, නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවට දරුවන්ට චර්ම රෝග වැළඳී ඇති අන්දම පසුගියදා බීබීසී සිංහල සේවය අනාවරණය කළේය

තවත් තොරතුරු: