අතුරුදහන් වූවෝ: ත්‍රිකුණාමල මව්වරුන්ගේ සංගමය "කොටස් තුනකට කැඩිලා"

Missing Persons in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, ත්‍රීකුණාමල මව්වරුන්ගේ සංගමයේ සභාපතිනී සෙබස්තියන්දේවී

"අවුරුදු හයකට විතර කලින් අපේ කට්ටිය අතරේ ලොකු සමගියක් තිබුනා. හැම දෙනාගේම එකම ඉල්ලීම උනේ අතුරුදහන් වුන අයට මොකද වුනේ කියන කාරණය දැනගන්න පමණයි".

ත්‍රීකුණාමල මව්වරුන්ගේ සංගමයේ සභාපතිනි සෙබස්තියන්දේවී පවසන්නීය.

"එදා දාහක් විතර එකට හිටපු අය අද කොටස් තුනකට කැඩිලා."

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය ඒ බව කියා සිටියේ අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලයේ (OMP) කොමසාරිස්වරුන් ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී බදාදා රැස් වූ අවස්ථාවේදීය.

කොමිසම රැස් වූ අවස්ථාවේ සියයක පමණ පිරිසක් අතුරුදන් වූවන්ගේ බැනර්, පෝස්ටර් සහ ඡායාරූප ප්‍රදර්ශණය කරමින් හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය පිටත සිට විරෝධතාවක නිරතව සිටියහ.

තවත් හයසියයකට අධික පිරිසක් කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර, තවත් දෙසියයක පමණ පිරිසක් විරෝධතාවට හෝ අදහස් විමසීමට සහාය නොදී වෙනම කණ්ඩායමක් වශයෙන් සිටිනු දකින්නට ලැබුනි.

Missing Persons in Sri Lanka

මව්වරුන්ගේ සංවිධානයේ සභාපතිනිය මෙම බෙදීම පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කළාය.

"එක කණ්ඩායමක් උපවාසයක් ආරම්භ කළා. ඒකට අදට දින හාරසීයක් සම්පූර්ණ වෙනවා. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියන එකයි ඔවුන්ගේ ඉල්ලීම. තවත් පිරිසක් ආර්ථික සහනයක් බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායම බලපෑම් කරන්නේ කෙලින්ම ලංකා ආණ්ඩුවට. අතුරුදන්වූ අයගෙන් අඩුම තරමින් දහදෙනෙකුගේවත් විස්තර අපට ලබාදෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ආර්ථික ප්‍රතිලාභ එපා. අපේ ඥාතියෝ ඉන්නවද මැරුණද පමණක් කියන්න."

මේ තොරතුරුද කියවන්න:

Missing Persons in Sri Lanka

අතුරුදන් වූවන්ගේ එකමුතුව ගොඩනඟාගත් අන්දම පිළිබඳව විස්තරකළ සෙබස්තියන්දේවී: "මට හොඳට මතකයි අපේ අම්මලා බාල්දිවලට කළගෙඩිවල වතුර පුරවාගෙන මහපාර අයිනටවෙලා පාරේ යන එන වාහන නවත්වලා ඒවා සේදුවා."

එසේ කරන්නේ ඇයි දැයි ඒ මවුවරු වාහන හිමියන්ට විස්තර කළහ.

"අපේ ස්වාමිපුරුෂයන් දරුවන් ඥාතීන් පැහැරගෙන ගොස් අතුරුදන්කර ඇති නිසා දැන් අපට ජීවත්වෙන්න විධියක් නෑ කියලා අපි පාරේ යන එන අයට කිව්වා. නමුත් දැන් අපේ අයගේ තත්වේ වෙනස්. දේශපාලනයටයි මුදල්වලටයි කරන්න බැරි දෙයක් නෑ."

මීට පෙර පැවති කොමිෂන් සභා මෙන් සාක්ෂි විමසීමක් සිදු නොකළ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, හුදු සිද්ධි වාචකයන්ට පමණක් සවන් දුන්නේය.

"පාසලට යද්දී මගේ පුතා පැහැර පැහරගෙන ගියා. දැකපු අය ඉන්නවා. පුතා මරලා බඩ පළලා මුහුදට දැම්ම බවට අපට සාක්කි තියෙනවා. අපි නඬුවකුත් දැම්මා. තවම විභාගය ඉවර නෑ," එක් මවක් කොමිසම ඉදිරියේ කියා සිටියාය.

Missing Persons in Sri Lanka

"මගේ පුතයි මුණුපුරයි දෙන්නම සුදු වෑන් එකකින් පැහැරගෙන ගියා. මුණුපුරා පස්සේ ගෙදර ආවා, පුතා නෑ," ඒ තවත් මවකගේ අත්දැකීමය.

තවත් තොරතුරු:

"මගේ ස්වාමිපුරුෂයා තමයි අතුරුදන්වෙලා ඉන්නේ. දැන් මට ජීවත්වෙන්න විදියක් නෑ. විශාම වැටුපක් ලබාදෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ," යනුවෙන් එක් කාන්තාවක් පවසද්දී, "අපට මේ කොමිෂන් සභා ගැන කිසිම විශ්වාසයක් නෑ. මීට කලිනුත් කියක්නම් ආවද? ඉතින් වැඩක් වුනාද?," යන්න තවත් කාන්තාවකගේ පැමිණිල්ල විය.

"අපේ ඥාතීන් අතුරුදන් වුනා. නැවත පදිංචියට එනකොට අපේ ඉඩම් සහ වාසස්ථානත් අතුරුදන්වෙලා. ආණ්ඩුවේ නිළධාරීන්ගෙන් කිසිම විසඳුමක් ලැබෙන්නේ නෑ."

Missing Persons in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ කොමිෂම ත්‍රීකුණාමල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද දින (ජූනි13 ) රැස්වු අවස්ථාව

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනස්වෙන තවත් එක් කොමිසමක් නොවන බව එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

"සවිස්තර තොරතුරු ලබා ගැනීමට අපි ප්‍රධාන කාර්යාලයක් සහ උප කාර්යාල දොළහක් දිවයින පුරා ආරම්භ කරනවා. දැනට පැමිණිළි දහතුන්දාහක් ලැබී තියෙනවා," ඔහු පැවසීය.

"දශක තුනක අර්බුද විසඳන එක සුළුපටු වැඩක් නොවෙයි. ආරම්භය මිස අවසානය ගැන අපට පොරොන්දුවක් දෙන්න බෑ. දැන් දැන් සමූහ මිණිවලවල් පවා හමු වෙනවා. මේ සියල්ල අධ්‍යයනය කළ යුතුයි," ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයා ගැනීම සඳහා සිංහල ජනතාවගෙන් සහයෝගය ඉල්ලයි (2018 පෙබරවාරි 24)