අතුරුදහන්වූවන් පිළිබඳ ජනතා අදහස් විමසීම ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty/ ISHARA S. KODIKARA
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේ කටයුතු මැයි 12 වෙනිදා ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කෙරෙනු ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පැවසීය.
ඒ අනුව අදාළ විමසීම් මන්නාරමෙන් ආරම්භ කෙරෙනු ඇති බව එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ උතුර, නැගෙනහිර සහ දකුණේ අතුරුදහන්වූවන්ගේ පවුල් දැනුවත් කිරීමට ඒ හරහා බලාපොරොත්තු වන බවය.
ඉහත කී අදහස් විමසීමේ කටයුතු නැතිවූ හෝ අතුරුදන් වූ හෝ පුද්ගලයන් සෙවීම පිණිස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය පියවරක් බවත් ඔහු පැවසීය.
අදාළ විමසීම් ජුලි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේය.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය පවසන පරිදි අදහස් විමසීම් කරනු ලබන පාර්ශ්ව:
- නැතිවූ හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්
- ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරීන්ගෙන්
- වෘත්තිකයන්ගෙන් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානවලින්
ඉදිරි සති කීපය ඇතුළත අතුරුදන්වූවන්ගේ කාර්යාලය මාතර, ත්‍රිකුණාමලය, මුලතිව්, මහනුවර, කිලිනොච්චි, යාපනය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල සංචාරය කරනු ඇති බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"මහජන අදහස්වලට සවන් දී, ඉදිරි පියවර සහ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් කෙරෙන යෝජනා ඇතුළත් කිරීම සඳහා අතුරුදන්වූවන්ගේ කාර්යාලය සතුව දැනට ඇති සංවිධාන සැලැස්මෙහි සහ උපාය මාර්ගවල තොරතුරු ජනතාව සමඟ බෙදාහදා ගැනීම මෙම රැස්වීම්වල අරමුණ වේ,"
"අතුරුදන් වූ සිය ආදරණීයයන් වසර ගණනාවක් තිස්සේ සොයමින් සිටින පවුල් සහ පුද්ගලයන් තුළ ඇති හදිසියත්, ඉච්ඡා භංගත්වයත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය හොඳින් අවබෝධ කරගෙන සිටී. එසේවුවද, ඇති වී ඇති තත්ත්වයට ඵලදායී ප්‍රතිචාරයක් ලබාදීමත්, තාවකාලික පියවර ගැනීම වලක්වාලීමත් අරමුණු කරගනිමින් අදාළ වැදගත් ක්‍රියාදාමයන් ස්ථාපිත කරන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය එම පවුල්වලින් සහ පුද්ගලයන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටී," යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ නිරත කොමසාරිස්වරුන්ගේ මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කටයුතු කරයි.
සභාපතිවරයාට අමතරව තවත් කොමසාරිස්වරුන් හය දෙනෙක් ඒ සඳහා පත් කරනු ලැබ සිටිති.
2016 වසරේ අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත අනුව එම කාර්යාලය ස්ථාපනය කරන ලැබ ඇත.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත "විදේශීය උවමනාවක් අනුව සම්මත කිරීමට යන පනතක් ලෙස හඳුන්වා දෙමින් එය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට තර්ජනයක් වන බව ඇතැමෙක් පවසද්දී එම මතය සනාථ කිරීමට ඉවහල් වෙන කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ ඇතුළත් නොවන බවට තවත් කණ්ඩායමක් තර්ක කරති.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි අසූව දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සංඛ්‍යාව හැටදහසකට ආසන්න වන අතර ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය.
1989 සහ 1990 වසරවල වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ බවට සැකකර අතුරුදහන් කරවන ලද සිංහල තරුණයන් ද ඊට අයත්ය. ඊට අමතවර 1983 සිට 2009 දක්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, ආණ්ඩුව විවේචනය කරන ලද පුද්ගලයන් සහ ජනමාධ්‍යවේදීන් ද ඊට ඇතුළත් වන බව මානව හිමිකම් සංවිධාන පවසති.












