පරීක්ෂණවලට නීතිපති සහාය නැහැ - අධිකරණය

පරීක්ෂණවලට නීතිපති සහාය නැහැ - අධිකරණය
Published

පසුගිය පාලන සමයේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දෙමළ ජාතික තරුණයන් එකොළොස් දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කර වීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට නීතිපතිවරයාගේ සහාය මෙතෙක් ලැබී නොමැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කරයි.

අදාළ පැමිණිල්ල අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විවෘත අධිකරණයේ ප්‍රකාශ කොට සිටියේ ඉහත කී සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිසිය විසින් නිසියාකාරව සිදු කරනු ලැබ ඇති බවයි.

පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට පසුගිය නඩු දිනයේ දන්වා යැවූ බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය එහෙත් අද දින නීතිපතිවරයා නියෝජනය කරමින් කිසිවෙකුත් අධිකරණයේ පෙනී නොසිටි බව ප්‍රකාශ කළාය.

අපරාධ පරීක්ෂණයක් සාර්ථක කර ගැනීමට නීතිපතිවරයාගේ සහාය බෙහෙවින් වැදගත් බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග වන මීළඟ දින අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

අනතුරුව අදාළ නඩු විභාගය අගෝස්තු 30 වනදා දක්වා කල් තැබිණ.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් තිදෙනෙකු රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මේ වන විට ඇප මත මුදා හැර තිබේ.