'අතුරුදහන් වූවන් වෙනුවෙන් ආණ්ඩුව මොනවද කළේ?'

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පළාතේ බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රික්ක මට්ටමේ කාර්යාල පිහිටුවිය යුතු බව මඩකලපුවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති.
කොළඹ සහ වෙනත් ප්‍රදේශවලදී අතුරුදහන් වූ සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා තැනින් තැනට ගමන් කොට තමන් විඩාවට පත් වී සිටින බවයි අතුරුදහන් වූවකුගේ ඥාතියකු වන අමල් රාණී අමල් රාජ් කියා සිටියේ.
ඇය ඒ බව සඳහන් කළේ ජනතා අදහස් විමසනු වස් සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය සෙනසුරාදා මඩකලපුවේ රැස් වූ අවස්ථාවේදී.
'අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බලන කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවිය යුතුයි. භාෂා තුනකින් කටයුතු කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පළාත්වල ජනතාව දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන අදහස්වලට ඉවසීමෙන් ඇහුම්කන් දෙන අය ඉන්න ඕන' ඇය පැවසුවාය.
අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා භාර දුන් ලියකියවිලිවලට කුමක් සිදු විනිදැයි යන්න ඇය ප්‍රශ්න කරයි.
'මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදහන් වීම් තුන්දහසක් පමණ වාර්තා වනවා. වසර එකහමාරක් විතර අපි කරුණු ඉදිරිපත් කළා. එක් අයකුවත් ආපසු හමු වුනාද?, විශ්වාසයක් නැතුවයි අපි මෙතනට ආවේ.'
'අපි දීපු ලියකියවිලි කෝ?. අපිට නැති වුනේ මනුෂ්‍ය ජීවිත, සතුන් හෝ බඩුමුට්ටු නෙවෙයි. අතුරුදන් කිරීම් ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු අපි ගාව තිබෙනවා. මෙතෙක් කල් රජය මොනවද කළේ?' ඇය සඳහන් කළාය.

අතුරුදහන් වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන්ට මෙන් සමාන ආකාරයට තමන් සම්බන්ධයෙනුත් කටයුතු කළ යුතු යැයි මඩකලපුවේ රැස් වූ සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකායට ජනතා අදහස් ඉදිරිපත් වී තිබේ.
අතුරුදහන් වූවන් ලෙස සැලකෙන පුද්ගලයන්ට මරණ සහතික ලබා දීමක් ලොව කිසිඳු රටක සිදු වී නැති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති.
අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතික නොව වෙනත් විශේෂ සහතිකයක් නිකුත් කරන බව ප්‍රකාශ කොට මාස ගණනාවක් ගත වී ඇතත් ඒවා තවමත් ලැබී නොමැති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටිති.










