අතුරුදහන්වූවෝ: 'දේශපාලන වුවමනාවක් පේන්න නෑ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට සැබෑ දේශපාලන වුවමනාවක් පවතින්නේ දැයි සැකයක් මතු වන බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
විශේෂයෙන්ම පුද්ගලයන් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ අධිකරණ ක්‍රියාදාමයකින් තොරව, අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලයක් (OMP) පමණක් පිහිටුවීමේ වැදගත්කම කවරක් දැයි ඔවුහු ප්‍රශ්න කරති.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක් එම ප්‍රශ්නය මතු කළේ 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' ඉදිරියේ සිය අදහස් දක්වමින්.
අතුරුදහන්වූවන් වෙනුවෙන් සහ කාන්තා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දහයක නියෝජිතයන් සහ රණවිරු සේවා අධිකාරිය කාර්ය සාධක බලකාය හමුවේ අඟහරුවාදා අදහස් දැක්වූහ.
අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අඟහරුවාදා කාර්ය සාධක බලකායේ අවධානය පළ වී තිබුණේ එම විශේෂ කාර්යාලය පිළිබඳවයි.
'පරස්පර තත්වයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව වෙනුවෙන් එහිදී අදහස් පල කළ බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ, අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධ කිසිවක් එම පනත් කෙටුම්පතට ඇතුලත් නැති බවයි.
"වන්දි ගෙවීම හෝ නැවත සිදුවීම වැළැක්වීම සඳහා සිදු කරන කාර්යභාරයන් එහි නිශ්චිත වෙන්නේ නෑ."
විශේෂයෙන්ම අතුරුදහන්වූවන් වෙනුවෙන් ගත යුතු පියවර නිර්දේශ කිරීම පිණිස කාර්ය සාධක බලකාය මහජන මතය විමසමින් සිටින අතරවාරයේ, අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලයක් පිහිටුවීම පරස්පර තත්වයක් බවයි, බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.
එමෙන්ම සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය සහ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ගනු ලබමින් තිබෙන සමස්ත පියවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම බරපතල ගැටලුවක් බවයි ඔහු පවසන්නේ.
'බරපතළ ගැටළුවක්'

"වෙන විදියකට කිවුවොත් ආණ්ඩුව බරපතල ලෙස ඒ වෙනුවෙන් රට තුල පෙනී ඉන්නවද කියන ප්‍රශ්නය අපිට මතු වෙලා තියෙනවා."
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට පෙරාතුව ජාත්‍යන්තරය සමඟ එකඟ වූ කාරණා කිහිපයක් හෝ ඉටු කිරීමට ආණ්ඩුවට පැහැදිලි ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙමින් තිබෙන බව පවසන බ්‍රිටෝ ප්‍රනාන්දු, එවැනි තත්වයක් යටතේ හෝ ඇතැම් සාධනීය පියවර ගැනීම සතුටට කරුණක් බවත් සඳහන් කළේය.
කෙසේ නමුත් වින්දිතයන්ට දැනෙන යමක් කිරීමට' අපොහොසත්වීම සහ කාර්ය සාධක බලකාය ඇතුළු යාන්ත්‍රණවලට සම්පත් හිඟවීම ඇතුළු කරුණු සිය කනස්සල්ලට හේතුවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.









