ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය: "බැලූ බැල්මට අධිකරණයට අපහාසයක්, විභාග කළ යුතුයි"
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ඉදිරියටත් විභාග කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස වී තිබේ.
ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන් ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයින් බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් කරන ලද බව පැවසෙන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන් වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ මතය විමසීමට ඉකුත්දා අගවිනිසුරුවරයා පියවර ගෙන තිබිණ.
ඒ අනුව අදාල වීඩියෝ පටය නරඹා විනිසුරුවරු අගවිනිසුරුවරයා වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති විනිසුරුවරුන්ගේ අදහස වී තිබෙන්නේ අදාළ පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතු බවය.
මෙම තොරතුරු හෙළි වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි අපහාස නඩුව සඳුදා කැඳවූ අවස්ථාවේදීය.
ඊවා වනසුන්දර සහ එල්ටීබී දෙහිදෙණිය විනිසුරු මඩුල්ල හමුවේ අදාල පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන, අදාළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් කළ බව සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන්නේ යැයි ද රජයේ නීතිවේදියා අධිකරණයට දැන්වීය.
ඒ අනුව චෝදනා පත්‍රයක් කෙටුම්පත්කර, වගඋත්තරකරුට භාරදීම මීළඟ පියවර බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී වගඋත්තරකාර රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට දැක්වෙන කරුණු ඇතුළත් ලිඛිත දේශනයක් තමන් අධිකරණයට භාරදෙන බවය.
ඒ අනුව පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ලබන 18 වෙනි දින සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වාදුන් බව පැමිණිලිකරුවෝ පවසති.
මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීනවන බවත්, ඒ හරහා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවෝ චෝදනා කරති.
තවත් කියවන්න: