ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට අධිකරණ නියෝගයක්
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස අධිකරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට නියෝග කළේය.
අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ, වෛද්‍ය පාදෙණිය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
සයිටම් (SAITM) වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධි පිරිනැමීමට නීත්‍යානුකූල හිමිකමක් පවතින බවට අභියාචනාධිකරණය ඉකුත් ජනවාරි මස 31 වෙනි දින තීන්දුවක් ලබාදුන් බව පෙන්වාදෙන පෙත්සම්කාර පාර්ශවය, ඉන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එම තීන්දුව විවේචනය කරමින් අධිකරණයට අපහාසාත්මක වියහැකි ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇතැයි සිය පෙත්සමෙන් චෝදනා කරයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අදාළ චෝදනාව සනාථ කිරීම පිණිස මාධ්‍ය වාර්තා කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
වැඩ වර්ජනය
"පාදෙණිය වෛද්‍යවරයා පසුගිය කාල සීමාව තුළ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව විවේචනය කරමින් ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර තිබෙනවා," ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පැවසීය.
"ඒ තුලින් ඔහු අභියාචනාධිකරණයේ බලය මෙන්ම විනිසුරුවරුන්ද හෑල්ලුවට ලක්කර තිබෙනවා. මෙම ප්‍රකාශ නිසා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වියහැකියි," යනුවෙන් ප්‍රකාශ ඔහු එබැවින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණියට එරෙහිව විභාගයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු පිළිගත් අධිකරණය අදාළ චෝදනාව සම්බන්ධයෙන් මැයි මස 22 වෙනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන මෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත සිතාසි නිකුත් කළේය.
මේ අතර සිකුරාදා (මැයි 05) සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන අතරවාරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පුද්ගලික චැනලින් සේවා සඳහා සම්බන්ධ වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබිණි.
එහෙත් සිය සංගමයේ සභාපති වරයා කිසිදු පුද්ගලික රෝහලක වෛද්‍ය සේවා සඳහා සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.