ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් පුහුණු කරන ෆේස්බුක්
වසරක් ඇතුළත ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් 10,000 ක් පුහුණු කිරීමට බලාපොරොත්තුවන බව ෆේස්බුක් ආයතනය පවසයි.
ආයතනයේ ඉන්දියාව, දකුණු සහ මධ්‍යම ආසියාව භාර අධ්‍යක්ෂිකා අන්කි දාස් ඒ බව කියා සිටියේ කොළඹ ගලධාරි හෝටලයේදී පැවැති "ඔබේ ව්‍යාපාරයේ අභිවෘද්ධිය ඉහළ නංවා ගන්න" නම් වැඩසටහනේදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
එම ව්‍යවසායකයන් ෆේස්බුක් මාර්ගයෙන් ගෝලීය ව්‍යාපාර ලෝකයට සම්බන්ධ කර ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත් ඇය කියා සිටියාය.
"ෆේස්බුක් කියන්නේ බිලියන 2.2 ක ප්‍රජාවක්. එමගින් ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ගෝලීය සැපයුම් ජාල සමග සම්බන්ධවීමට අවස්ථාවක් ලැබෙනවා."
Facebook ආයතනය ශ්‍රී ලංකාවේ මෙවන් වැඩසටහනක් සංවිධානය කළ පළමු අවස්ථාව මෙය වේ.
තවත් කියවන්න:
බදාදා කොළඹදී ආරම්භ වූ මෙම වැඩසටහන ඉදිරියේදී ගාල්ල, නුවර හා යාපනය යන ප්‍රදේශවල ද පැවැත්වීමට නියමිතය.
"විශේෂයෙන්ම යාපනයේදී කාන්තාවන් මෙහෙයවන ව්‍යාපාර ගැන අපේ අවධානය යොමුකරනවා," අන්කි දාස් කියා සිටියාය.
අර්ථවත් සංවාද ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානම අරමුණක් බව සඳහන් කළ ඇය, "ශ්‍රී ලංකාවේ මෑතදී හටගත් තත්වය හා එය ෆේස්බුක් හරහා ක්‍රියාත්මක වූ ආකාරය ගැනත්" තමන් දැනුවත් බව ද සඳහන් කළාය.
"ඒ තත්වය අවධානයට ගෙන අපි ඩිජිටල් සුරක්ෂිතතාව සහ ඩිජිටල් සාක්ෂරතාව ගැන පුහුණු වැඩමුළු පවත්වනවා."
වැඩමුළුව අතරවාරයේ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, "ලෝකයේ හැමරටකම ෆේස්බුක් එකේ කරුණු සම්බන්ධව ප්‍රශ්න තිබ්බා. ඒ වගේ චෝදනා එල්ලවෙන කාලෙක ෆේස්බුක් එක ඔවුන්ගේ ශක්තිය හරි පැත්තට යොදාගැනීමට වෙර දරනවා," යනුවෙන් සඳහන් කළේය.
"ඒ අනුව ඔවුන් ලංකාවේ වැඩසටහනක් ගණනාවක් ක්‍රියාත්මක කරනවා," ඔහු පැහැදිලි කළේය.
"බොරු පුවතුයි, කුණුහරුප ලිය ලියා කාලය නාස්ති කරන්නේ නැතුව, ෆේස්බුක් එක රටට වැඩදායී ලෙස භාවිත කරන්න පුළුවන්," අමාත්‍යවරයා ෆේස්බුක් නව වැඩසටහන ගැන අදහස් දක්වමින් සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආයතනයේ අධ්‍යක්ෂිකා අන්කි දාස්, "අපේ සිංහල සහ දෙමළ භාෂා අංශ වැඩි දියුණු කරනවා. ඒ වගේම වෛරී භාෂාව සහ අපහාසාත්මක අදහස් පළ කිරීම් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන අපි සිවිල් සමාජය සමග සංවාදයක යෙදී ඉන්නවා," යනුවෙන් ද කියා සිටියාය.
සබැඳි වාර්තා: