19 සංශෝධනය වත්මන් ජනපතිටත් බලපායි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදවියේ රැඳී සිටිය යුතු නිල කාලය වසර පහක් පමණක් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබ ඇත.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරන ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ මෙසේ දැක්වෙයි.

"වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක් වන බව දැනුම් දී ඇත."

සිය ධුර කාලය අවසන් වන්නේ 2020 වසරේද ? නැත්නම් 2021 වසරේද? යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලද්දේ ජනාධිපතිවරයා විසිනි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් ප්‍රමුඛ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එම කාරණය සලකා බලද්දී නීතිපතිවරයා අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර හයක කාලයක් පදවියේ කටයුතු කළ හැකි බව කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල කාලය 19 වන සංශෝධනය සම්මත කිරීමට පෙර ආරම්භ කර ඇති හෙයින් එම සංශෝධනයේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකට සීමා කරනු ලැබීම ඔහුට බල නොපාන බව නීතිපතිවරයාගේ තර්කය විය.

ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයට අමතරව ජනමත විචාරණයක් මගින් ජනතා කැමැත්ත ද අවශ්‍ය කරන බව නීතිපතිවරයා කියා සිටියේය.

"එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් පත් වුනාම බලයේ සිටින ජනාධිපතිවරයකුගේ කාල සීමාව වසර දෙකක් හෝ තුනක් විය යුතු යයි නීති ගෙනැවිත් එම කාලය සීමා කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් වෙනවා. ජනමත විචාරණයක් අවශ්‍ය ඒ නිසයි" නීතිපති ජයන්ත ජයසුරිය, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කියා සිටියේය.

19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වසර පහක ධූරකාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බව ඔහුගේ මතය විය.

ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල්.පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා නීතිපතිවරයාගේ මතය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ වසර පහක් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් බව පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ජනාධිපතිවරයාට ද බලපාන බව එහි පැහැදිලිව සඳහන් කර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා ,ජනාධිපතිවරයාට ඒ ගැන ගැටළුවක් තිබුණේ නම් එම අවස්ථාවේ ඒ ගැන අධිකරණය යා හැකිව තිබු බවත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ නීතිවේදියා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සිය ධූරකාලය අඩු කිරීමට කැමැත්ත පළ කර ඇතිබව පැවසීය.

බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරිපත් කළ තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි තීන්දුව කවරක් වුවත් "මට ප්‍රශ්නයක් නැති," බවය.

එහෙත් කිසියම් ලෙසකින් අධිකරණය නීපතිවරයාගේ තර්කය පිළිගන්නේ නම්, "අනිවාර්යයෙන්ම මට සහ චන්ද්‍රිකාටත් ඉස්සරහට දෙපාරක් තරග කළොත් පමණයි තරග කිරීමේ අයිතිය අහෝසි වෙන්නේ" යනුවෙන් ද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"ඒ නිසා නීතිපතිවරයාගේ තර්කය එයාල පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්."

2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර 2015 ජනවාරි 26 වැනි දින උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ධූරකාලය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණි.

"විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා - මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය"

2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 මැයි මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ.

එම සංශෝධනයේ තුන් වෙනි ඡේදය මගින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 30 වගන්තිය ඉවත් කොට ආදේශ කරන ලද (2) උප වගන්තිය මගින් එම අදාළ අඩු කිරීම සිදු කරනු ලැබ ඇත.

එහි මෙසේ සඳහන් වෙයි.

"ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය" (30 (2) උපවගන්තිය)

ඒ අතරම , එම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 45 (ආ) වගන්තියේ මෙසේ දැක්වෙයි.

"2015 අප්‍රියෙල් මාස 22 වන දිනට පෙර පිළිවෙළින් ජනාධිපති ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධූර දැරිය යුතු වන්නේය" (අන්තර්කාලීන විධිවිධාන 49 (ආ)

සබැඳි පුවත්;