ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මොකක්ද මේ මොරගහකන්ද ව්‍යාපෘතිය?
ශ්‍රී ලංකාවේ ඉදි වූ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියක් වන මාතලේ දිස්ත්‍රික්කයට අයත් මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර සඳුදා (ජනවාරි 08) මුදා හැරේ.
2007 ජනවාරි 25 වෙනිදා වැඩ ආරම්භ කළ මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 4,500කි.
මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන ලීටර් මිලියන 570 කි.
ව්‍යාපෘතියෙන් වාසි අත්වන ක්ෂේත්‍ර:
- වාරිමාර්ග
පළමු අදියර යටතේ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා මාතලේ යන දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර් 82,000 ක පමණ භූමි ප්‍රමාණයක් සඳහා දෙකන්නයේදීම වාරි ජලය සැපයෙනු ඇත.
- විදුලි උත්පාදනය
මෙගා වොට් 25 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙනු ඇත.
- ජල සැපයුම
පානීය හා කර්මාන්ත සඳහා ජලය සැපයීමත් සිදු කෙරේ.
- මිරිදිය මත්ස්‍ය කර්මාන්තය
වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක් ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එක්කෙරෙනු ඇත.
උතුරු පළාත් මහඇමතිගෙන් ඉල්ලීමක්
නිල වාර්තාවලට අනුව නව කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් ලෙස හෙක්ටයාර් 12,000 ක් පමණ කළුගඟ පහළ නිම්න ප්‍රදේශය හා මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශය සංවර්ධනය කෙරෙමින් පවතින අතර වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර් 12,500 කට පමණ දියවර සැපයේ.
එමෙන්ම ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශයන්හි පවතින ලොකු කුඩා වැව් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පෝෂණය වනු ඇත.
මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබා දීමේ අදියරයේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ලබා දෙන ලෙස උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් 2016 වසරේ දී ඉල්ලීමක් කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම කළේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ උතුරේ දේශපාලන අධිකාරිය දැනුවත් කරනු වස් ජයිකා ආයතනයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති සාකච්ඡාවකදීය.
පරිසරය
මේ අතර අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයට පාරිසරික බලපෑම් එල්ල වී ඇති බවට පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය.
මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩා කිරීම 2017 ජනවාරි 11 දින ආරම්භ කෙරුණු අතර ජලයෙන් යට වූ කලාපයේ සතුන් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ තරුණ පරිසරවේදීහු එක්ව මෙහෙයුමක් දියත් කළහ.
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදා හැරීම සිදු කෙරෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.
සබැඳි යොමු: