ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මත්තල වලක වැටුණු අලි පැටවෙක් සහ මවක්
හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ ඉදිරිපිට කානු පද්ධතියක අනාරක්ෂිත වලක වැටි සිටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරින් එක්ව බේරා ගනු ලැබීය.
වලේ වැටී සිටි අලි පැටවා සහ මව බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ගම්වාසියෙකුගෙන් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවය.
ඒ අතර වලේ වැටි සිටි අලි මව ගොඩට පැමිණ, පැටියාට රැකවරණ ලබාදෙමින් ඒ ආසන්නයේ රැදී සිටීම හේතුවෙන් වන ජීවී නිලධාරීන්ට අලි පැටවා බේරා ගැනීමට නොහැකි විය.
ඒ අවස්ථාවේ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන ප්‍රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායම විසින් ඇතින්නට නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇතින්න එම ස්ථානයෙන් ඈත් විය.
ඉන් අනතුරුව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසූව ඔවුහු වලේ සිටි අලි පැටවා ගොඩට ගෙන මව වෙත ලබාදීමට කටයුතු කළහ.
මෙම ස්ථානය මත්තල ප්‍රදේශයේ පවතින ස්වභාවික අලි මංකඩක් බවත් ඒ හරහා දිනපතා වන අලින් පාර මාරුවෙන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.
වලේ වැටුණු සිය පැටවා බේරාගැනීමට යාමේදී මව ද වලේ වැටෙන්නට ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපී විජයකුමාර සඳහන් කළේය.
මේ වසර තුල පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවලට වැටී සිටි අලි පැටවුන් තිදෙනකු බේරාගෙන තිබේ.
ඊට අමතරව හක්කපටස් කෑමෙන් බරපතල තුවාල ලබා සිටි අලි පැටවුන් තිදෙනෙකු උඩවලව ඇත් අතුරුසෙවනට භාර දීමෙන් පසූ මිය ගිය බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපී විජයකුමාර පැවසීය.
වනජීවී නිලධාරින් දිවා රෑ නොබලා වන අලින්ගේ රැකවරණය සඳහා කටයුතු කරන නමුත් වන අලින්ගේ නිජබිම් අහිමිවීම නිසා එම සතුන්ට සිදුවන අනතුරුවලින් වලක්වා ගැනීම අපහසු කාර්යක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සතුන්ගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කිරීම බැවින් අලි ඇතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම පිණිස අලින් අතීතයේ ගමන් කළ අලි මංකඩ යළි විවෘත කිරීමට 2016 මැයි 31 වෙනි දින කැබිනට් අනුමැතිය හිමිවිය. එහෙත් මේ දක්වාම එම තීරණය ක්‍රියාවට නැගී නැත.