හම්බන්තොට: හක්කපටස් කෑ අලි පැටවාගේ තත්ත්වය 'බරපතළයි'

හක්කපටස් කා තුවාල ලබා සිටි අවුරුදු තුනක් පමණ වයසැති අලි පැටවෙකු හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිටිය දී හමුව තිබේ.

තුවාල ලබා සිටි අලි පැටවාට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරු එක්ව ප්‍රතිකාර කළහ.

තුවාල ලැබ සිටි අලි පැටවා පිළිබඳ වනජීවී නිලධාරීන් වෙත දන්වා ඇත්තේ වරාය පරිශ්‍රයේ සේවය කරන නිලධාරින් පිරිසක් විසිනි.

ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් වන මලක අබේවර්ධන හා පි.එම් අකලංක කියා සිටියේ අලි පැටවා බරපතළ තත්ත්වයේ පසුවන බවය.

මූලික ප්‍රතිකාර කර අලි පැටවාට යම් ශාරීරික ශක්තියක් ලැබුණු වහා අඟහරුවාදා (අගෝස්තු 08) පෙරවරුවේ ඇත් අතුරු සෙවනට රැගෙන යාමට කටයුතු කරන බව පශු වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කළහ.

අලි පැටවාගේ මුඛ ප්‍රදේශයට හානි සිදුවීම නිසා ආහාර ගැනීම අපහසු වී තිබෙන බවත් ඊට අමතරව හිස ප්‍රදේශයේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් ද දක්නට ඇති බවත් පශු වෛද්‍යවරු කියා සිටියහ.

හොඬයටත් හානි

එමෙන්ම තුවාල ලබා සිටින අලි පැටවාගේ හොඬ වැල අග ඇති ඇඟිල්ල මිට පෙර සිදු වූ තුවාලයක් හේතුවෙන් අහිමිව තිබෙනු දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ .ඒ .පි විජය කුමාර කියා සිටියේ අලි පැටවා වෙනත් ප්‍රදේශයක දී තුවාල ලබා වරාය පරිශ්‍රයට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරන බවය.

මේ වනවිට හම්බන්තොට වරාය පරිශ්‍රයේ එළිපෙහෙළි නොකළ කැලෑ ප්‍රදේශ තුළ වන අලි 40 දෙනෙකු පමණ ජීවත් වන බව වනජීවී නිලධාරීහු පවසති.

තුවාල ලබා සිටි අලි පැටවාට ප්‍රතිකාර කරන අතරතුර ද වන අලි කිහිප දෙනෙකු ඒ අසල රැඳී සිටිනු දක්නට ලැබිණි.

2016 මැයි 29 වෙනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයේ කානුවක වැටී අනතුරට පත්ව සිටි මාස හයක පමණ අලි පැටවෙකු බේරාගෙන උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් ප්‍රතිකාර කල අතර පසුව එම පැටවා මිය ගියේය.

සබැඳි යොමු: