ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යාල 'සෆාරි' ජීප් රථ "දිනකට 300 ක් පමණයි"
යාල වනෝද්‍යානයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට මීට පෙරාතුව ගන්නා ලද තීරණය වෙනස් කරන ලද බව වන ජීවී කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව යාල අංක1 කළාපයේ ආරක්ෂාව පිණිස දිනකට ඇතුළු වන උපරිම 'සෆාරි' ජීප් රථ සංඛ්‍යාව 300 ක් විය යුතු යයි තීරණය කරන ලද බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
"මූලික තීරණයක් අපි ගත්තේ 300 ට තමයි, ඊට පස්සේ බලපෑම්, නොයෙකුත් දේවල් ආවට. ඒ තුන්සීය හාරසීයට වැඩි කෙරුවත් 300 ටම තිබිය යුතුයි කියන ස්ථාවරය තීරණය කරලා තියෙනවා," ඔහු පැවසීය.
ජීප් රථ හිමියන්ගේ සහ ප්‍රදේශය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම මත යාල අංක1 කලාපයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීමට අමාත්‍යවරයා තීරණය කරන ලද බව ජනමාධ්‍ය වාර්තාකර තිබුණි.
එහෙත් වාහන 500 දක්වා වැඩි කිරීමේ තීන්දුවක් නොගත් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සිය තීන්දුව වූයේ ජීප් රථ සංඛ්‍යාව 400 දක්වා ඉහළ දැමීමට යයි සඳහන් කළේය.
අමාත්‍යවරයාගේ එම තීන්දුව පිළිබඳව පරිසරවේදීන් සහ පශු වෛද්‍යවරුන් දැඩි විරෝධය පළ කළ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දෝෂදර්ශනයට ලක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි.
"දවසකට ජීප් 300 තමා සුදුසුම මේ යාල block1 එක දීර්ඝ කාලීන ලෙස ආරක්ෂා කරන්න ඕනේ නම්. අගමැතිතුමාත් ඉන්නේ දැඩි ලෙස ඒ ස්ථාවරයේ," අමාත්‍යවරයා පැවසීය.
"මොකද ඒ ගහ කොළ, සතා, පරිසරය ඔක්කොම විනාශ මුඛයට පත්වේගෙන එනවා."
සබැඳි යොමු:
ගතව ගිය තුන් වසර ඇතුළත අංක1 කළාපයට වසරකට ඇතුළු වී තිබෙන වැඩිම වාහන ප්‍රමාණය 402ක් බව පවසන වන ජීවී කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාල වනෝද්‍යානයට ඇතුළුවන වාහන සංඛ්‍යාව වැඩි වීම යනු එකම සතෙක් නැරඹීම පිණිස "පොර කමින් යන වගේ තත්වයක්" ඇති වී තිබෙන බැවින් ඒ තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාව මතු වී ඇති බවය.
"ඒ එක්කම ඒ වාහන අපි one-way කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ පාරේ යන කොට සතෙක් ඉන්නවා කියල ටෙලිෆෝන් කෙරුවත් ඒ පාරේ ආපහු යන්න බෑ."
ඒ අතරවාරයේම යාල අංක1 කළාපයේ පමණක් නොව අනෙක් කළාපවල සහ සිතුල්පව්ව විහාරස්ථානය අසල 'ඔන්ඩච්චි' වනෝද්‍යානයේ ද සතුන් නැරඹීම සඳහා සංචාරකයන් දිරිමත් කිරීම සිය අභිලාශය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
යාල වනෝද්‍යානයේ කළාප අංක5, වේරගල සහ ලුණුගම්වෙහෙර වැනි ප්‍රදේශවල ද සතුන් බහුලව ගැවසෙන බැවින් කලාප අංක1 පමණක් සංචාරය නොකර සතුන් බැලීම පිණිස එම ප්‍රදේශවල ද සංචාරය කරන මෙන් අමාත්‍යවරයා සත්වලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි.