"නඩු නැති" පළාත් පාලන ආයතන වෙනුවෙන් මැතිවරණ

මැතිවරණ

ඡායාරූප මූලාශ්‍රය, EPA

දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.

කොමිෂන් සභාව එම තීරණයට එළැඹි තිබෙන්නේ සෙනසුරාදා (නොවැම්බර් 25) පැවති විශේෂ රැස්වීමකදීය.

දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයෙන් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන 133 ක් තිබෙන බව සඳහන් කළ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ඒ අතරින් සභා 40 ක සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂ පවතින බවත් සඳහන් කළේය.

"එම මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සකස් කරගෙන තියෙනවා," යනුවෙන් ද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.

ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය

ඡායාරූප මූලාශ්‍රය, IPU

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය

"ඒ 40 කෙසේ වෙතත්, අපි ඉතුරු සභා 93 නාම යෝජනා කැඳවීමේ දැන්වීම නොවැම්බර් 27 වෙනිදා නිකුත් කරන ලෙස තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දීමට මැතිවරණ කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළා."

ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 සඳහා මැතිවරණ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇති දැයි කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "ඒක කියන්න බෑ. ඒක කොමිෂන් සභාව තීරණය කරන්න එපැයි," යන්නය.

සබැඳි යොමු:

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සඳහා දෙසැම්බර් හතර (04) වෙනි දින තෙක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය පියවර ගැනීමත් සමඟ අදාළ මැතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩ කඩ ඇති බවට සැක පළ වෙමින් පැවතින.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර දෝෂ සහිතව සීමා නීර්ණය සම්බන්ධ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම පිළිබඳව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වගකීම භාරගත යුතු බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කතානායකවරයා වෙත භාර දී තිබේ.

මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරන බවට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද ආණ්ඩුවට චෝදනා කරන නමුත් සිකුරාදා නිකවැරටියේ දී ජනහමුවක් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

මැතිවරණ කොමිසමේ තීරණය ප්‍රකාර ලබන 27 වෙනි දින නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණයය.

මෙම නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයටද තෝරා පත්කර ගැනීමට නියමිතය.

කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව නීතිගත කර තිබීම මෙවර මැතිවරණයේ තවත් විශේෂත්වයකි.

එයට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවට ද සංශෝධිත පනතේ සඳහන් වේ.