පළාත් පාලන මැතිවරණය; මාර්තු 12 ව්‍යාපාරයෙන් ඉල්ලීම් හතක්

මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක්

නව පළාත් පාලන නීතිය මගින් නිර්දේශ කරනු ලැබ ඇති ඡන්ද විමසීම් රටාවේ සාධනීය ලක්‍ෂණ රාශියක් දකින නමුත් එම මැතිවරණ පවත්වනු ලැබීම විවිධ හේතු දක්වමින් වසර ගණනාවක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් 'මාර්තු 12 ව්‍යාපාරය' ආණ්ඩුවේ අවධානය යොමු කරයි.

එළඹෙන ජනවාරි මාසයේ පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට කටයුතු යොදන බව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි පවසන මාර්තු 12 ව්‍යාපාරය, එම ප්‍රකාශිත දිනයේ මෙවර ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති අතර, කළ යුතු එකම කාර්යය වන්නේ 'සංස්ථාපන ගැසට් පත්‍රය' ප්‍රකාශයට පත් කොට ඒ ඒ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව නිල වශයෙන් සඳහන් කිරීම බව පෙන්වා දෙයි.

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් දක්වන මාර්තු 12 ව්‍යාපාරය, අපේක්ෂකයන් තුන් දෙනකු අතරින් කැමති එක් අපේක්ෂකයකු තෝරා ගැනීමේ පැරණි ක්‍රමය ඉවත් කොට අදාළ පක්‍ෂය මගින් ඡන්ද කොට්ඨාසයක් සඳහා නාම යෝජනා ලබා දෙන අපේක්‍ෂකයා තෝරා ගැනීමට අවස්ථාව සැලසීම යහපත් පියවරක් වන බව පවසයි.

එමගින් වඩාත් කාර්යක්‍ෂම, මහජන අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් එසේම අල්ලස් හෝ දූෂණයෙන් තොර අපේක්‍ෂකයෙක් තෝරා ගැනීමට මහජනයාට අවස්ථාව උදා වී ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරය කියා සිටියි.

අපේක්‍ෂකයන් තේරීමේ දී මාර්තු 12 ගිවිස ගත් නිර්ණායක සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අපේක්‍ෂකයන් තේරීමේ දී මාර්තු 12 ගිවිස ගත් නිර්ණායක සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය යටතේ හඳුන්වා දෙන කේවල ඡන්ද කොට්ඨාස සඳහා ඒ ඒ පක්ෂ විසින් නම් කරනු ලබන අපේක්ෂකයන් අතරින් එක් අයකු වෙනුවෙන් ඡන්දය දීමට මහජනතාවට අවස්ථාව සැලසෙයි.

එහෙත් දේශපාලන පක්ෂයක් දූෂණයෙන් තොර නොවූ හෝ කාර්යක්ෂම නොවන අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති අවස්ථාවක එවැනි පුද්ගලයකුට වුවද ඡන්දය දීමට එම පක්ෂයේ අනුගාමිකයන්ට සිදු වෙනවා නොවේදැයි බීබීසී සිංහල සේවය ප්‍රශ්න කළ විට, "එවැනි තැනැත්තන් අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් නොකිරීම සඳහා දේශපාලන පක්ෂවලට බලපෑම් කළ යුතුව" ඇතැයි මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වන රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේය.

ඒ අනුව මාර්තු 12 ව්‍යාපාරය ප්‍රධාන ඉල්ලීම් හතක් දේශපාලන පක්‍ෂ නායකයන්ගේ අවධානය සඳහා යොමු කරයි.

01) සෑම පක්‍ෂයක්ම එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමට පෙර අපේක්‍ෂකයන් තෝර ගන්නා නිර්ණායක කල්වේලා ඇතිව හෙළි කිරීමට පියවර ගැනීම. (ඒ සඳහා මහජනතාව දේශපාලන පක්ෂවලට බලපෑම් කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය කියා සිටී.)

02) 2015 මාර්තු 12 දින සියලු පක්ෂ එකඟ වී අත්සන් තබන ලද නිර්ණායක අනුගමනය කිරීම. ( එම නිර්ණායක අනුව ඒ ඒ දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයන් නම් කිරීමේ දී යහපත් චරිතයකින් යුත්, බලය අවභාවිත නොකළ, පරිසරයට සහ රටට හානිකර ක්‍රියා සිදු නොකළ පුද්ගලයන් සැලකිල්ලට ගත යුතුය.)

03) දේශපාලන පක්‍ෂ නායකත්වයට හෝ දිස්ත‍්‍රික් නායකත්වයට ඇති ලැදියාව, පක්‍ෂපාතීත්වය, ඥාතීත්වය හෝ මුදල් වියදම් කිරීමට ඇති හැකියාව පමණක් සළකා අපේක්‍ෂකයන් තෝරා නොගැනීම.

පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා නව සීමා නිර්ණය පිළිබඳව අදහස් දක්වමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා නව සීමා නිර්ණය පිළිබඳව අදහස් දක්වමින්

04) අදාළ ඡන්ද කොට්ඨාසය තුළ පදිංචිකරුවෙකුට නාම යෝජනා ලබා දීම.

05) පළාත් පාලන ක‍්‍රියාකාරීත්වයට අදාළ විවිධ විෂයයන්වල විශේෂ දක්ෂතා සහිත පිරිස් ලැයිස්තු හරහා පළාත් පාලන ආයතන වලට පත් කර ගැනීම.

06) කාන්තා නියෝජනය ඵලදායී බවට පත් කිරීම සඳහා දක්ෂ, නිර්මාණශීලී හැකියාවන් සහිත කාන්තාවන්ට නාම යෝජනා ලබා දීම.

07) අවම වශයෙන් 25% තරුණයන්ට ඉඩ ප්‍රස්ථා ලබා දීම.

නව මැතිවරණ ක‍්‍රමයේ ගුණාත්මක ඵල ජනතාවට ලැබිය හැක්කේ දේශපාලන පක්‍ෂ ගනු ලබන තීරණ හා ඉහත කී ඉල්ලීම් ඉටුකර ගැනීම සඳහා සිදු කෙරෙන සක‍්‍රීය ජනතා මැදිහත් වීමකින් පමණක් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

සබැඳි පුවත්;