පළාත් පාලන මැතිවරණ කල් දමා ගැනීමේ සැලැස්මක් ගැන විවේචන

වාරණයට ලක් කරන ලද ගැසට් පත්‍රය
ඡායාරූප ශීර්ෂ වැකිය, වාරණයට ලක් කරන ලද ගැසට් පත්‍රය

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සඳහා ලබන දෙසැම්බර් හතර (04) වෙනි දින තෙක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය පියවර ගැනීමත් සමඟ අදාළ මැතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩකඩ ඇති බවට සැක පළ වෙමින් ඇත.

කොළඹ, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් හය දෙනකු විසින් පළාත් පාලන සීමා නිර්ණ ගැසට්‌ නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබුණ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුණි.

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කිරීම සඳහා පත් කළ අනු කමිටුව නිකුත් කළ නිර්දේශවලට පරිබාහිරව යමින් විෂය බාර අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරියේ කියා සිටියහ.

සීමා නිර්ණය බල නොපැවැත්වෙන ප්‍රදේශයන්හි මැතිවරණ පැවැත්වේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සීමා නිර්ණය බල නොපැවැත්වෙන ප්‍රදේශයන්හි මැතිවරණ පැවැත්වේද?

ඒ අනුව එම නිර්දේශ සංශෝධනය කිරීමේ දී විෂය බාර අමාත්‍යවරයා නීතිය ඉක්මවා කටයුතු කර තිබේදැයි සොයා බැලීම සඳහා දෙසැම්බර් මාස හතර වෙනි දින විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කළ අතර, එම දිනය තෙක් පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරුණි.

'කැෆේ' මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින්, එකී වාරණය දෙසැම්බර් හතර වැනිදාට පසුවටත් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කෙරුනොත් බලාපොරොත්තු වූ පරිදි පලාත් පාලන මැතිවරණ ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පෙන්වා දුන්නේය.

උද්ගතව ඇති නව තත්වය සම්බන්ධයෙන් මෙම විසිපස් වෙනිදා රැස් වෙන මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගනු ඇතැයි බීබීසිය කළ විමසීමක දී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. මොහමඩ් සඳහන් කළේය.

සීමා නිර්ණ ගැටළු නොමැති ප්‍රදේශවල හෝ මැතිවරණය පැවැත්වීමේ හැකියාව කෙරෙහි එම හමුවේ දී අවධානය යොමු වෙනු ඇතැයි ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. මොහමඩ් පවසයි.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේද අදහස් දක්වමින් "ආණ්ඩුව ඡන්දය කල් දමා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කළේය.

සීමා නිර්ණය පිළිබඳව අදහස් දක්වන පලාත් පාලන ඇමතිවරයා
ඡායාරූප ශීර්ෂ වැකිය, සීමා නිර්ණය පිළිබඳව අදහස් දක්වන පලාත් පාලන ඇමතිවරයා

එමගින් "රටේ විශාල ආන්දෝලනයක් ඇති විය හැකි" බවත් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් "ඡන්ද කල් දැමීමට ආණ්ඩුවත් විරුද්ධ බව" කියා සිටියේය.

පසුගිය රජය සමයේ සිදු කෙරුණ සීමා නීර්ණය කිරීම් නිසා පළාත් පාලන මැතිවරණය කල් ගිය බව ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

පළාත් පාලන ඇමතිවරයාට එරෙහි අදාළ පෙත්සම අධිකරණයට ඉදිරිපත් කෙරුණ අවස්ථාවේ ප්‍රකාශයක් කළ ඒකාබද්ධ විපක්ෂය එම පෙත්සම පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිටින බවට චෝදනා කළහ.

මැතිවරණ නිරීක්ෂකයන්ගේ මාධ්‍ය හමුවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ නිරීක්ෂකයන්ගේ මාධ්‍ය හමුවක්

පළාත් පාලන මැතිවරණයට සියල්ල සුදානම්ව තිබියදී එවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අරමුණ ඡන්දය කල් දැමීම බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ද අදහසය.

සබැඳි පුවත්;