දෙමළ "දේශපාලන සිරකරුවන්ට" නිදහස ඉල්ලමින් උතුරේ හර්තාල්!

හර්තාලය සමඟ පාළුවට ගිය වව්නියා නගරය
ඡායාරූප ශීර්ෂ වැකිය, හර්තාලය සමඟ පාළුවට ගිය වව්නියා නගරය

දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ ස්වේච්ඡා සංවිධාන දාහතරක් අද (ඔක්තෝබර් 13) උතුරු ප්‍රදේශයේ දියත් කළ හර්තාලයක් හේතුවෙන් ප්‍රධාන නගරවල සාමාන්‍ය දෛනික කටයුතු මුළුමනින්ම අඩාල විය.

එම හර්තාලයට සහයෝගය දැක්වීමසඳහා උතුරේ ප්‍රධාන නගර වල වෙළෙඳ සැල් වසා දමා තිබූ අතර හෝටල් සහ ආපන ශාලා කීපයක් පමණක් විවෘතව පැවතුණි.

ප්‍රදේශයේ ගමනා ගමන කටයුතු අඩාල වී තිබීම නිසා ගමන් බිමන් යාමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර බස් රථ ධාවනය සිදු වූයේ කලාතුරකිනි.

දෙමළ පාසල් සියල්ලක්ම පාහේ වසා දමා තිබුණත් සිංහල පාසල් විවෘතව පැවතුණි.

හර්තාලය පවතිද්දී පොලිසිය මුර සංචාරයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, හර්තාලය පවතිද්දී පොලිසිය මුර සංචාරයේ

හර්තාලය සමඟ නාගරික ජීවිතය අඩාල වී තිබුණි

එහෙත් ගමනා ගමන කටයුතු අඩාල වූයෙන් පාසල් වලට සිසුන්ගේ පැමිණීම පහළ මට්ටමක පැවතුණි.

රජයේ කාර්යාල සහ බැංකු විවෘතව පැවතුනත් ගමනා ගමන අපහසුකම නිසා රජයේ සේවක සේවිකාවන්ගේ පැමිණීම ද සීමිත විය.

හර්තාලය නිසා වැඩියෙන්ම පීඩා විදින ලද්දේ නාගරික ජනතාවයි.

ගම්බද ප්‍රදේශයන්හි සියළු කටයුතු සුපුරුදු අන්දමින් පෙරට යමින් තිබුණි.

වැසී ගිය වෙළෙඳ සැල් - නාට්ටාමිවරුන්ට රැකියා නැහැ
ඡායාරූප ශීර්ෂ වැකිය, වැසී ගිය වෙළෙඳ සැල් - නාට්ටාමිවරුන්ට රැකියා නැහැ

සබැඳි පුවත්;

උතුරු නැගෙනහිර හර්තාල්

මඩකලපුව දිස්ත්‍රිකයේ 'හර්තාල්'

එල්ටීටීඊ නායකයන් නිදහස් කර තිබියදී අප රඳවා තබා ගන්නේ ඇයි? - දෙමළ සිරකරුවෝ

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ - අධිකරණ ඇමති

'දමිළ දේශපාලන පක්ෂ අමතක කළ දමිළ සිරකරුවන්'

හර්තාලයේ ඉල්ලීම්

සංවිධායකයන් පවසන පරිදි මෙම හර්තාලය කැඳවා තිබුණේ, දෙමළ "දේශපාලන සිරකරුවන්" නිදහස් කරණ ලෙස සහ වවුනියාව මහාධිකරණයේ එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තුන්දෙනකුට එරෙහිව විභාග වෙමින් පැවති නඩු තුනක් අනුරාධපුර මහාධිකරණයට මාරු කරනු ලැබීම වහාම නතර කරණ ලෙස රජයට බල කිරීමටයි.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට එරෙහි නඩු අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කොට ඇත්තේ එම නඩුවල සාක්කි කරුවන් වන ආරක්ෂක අංශ සාමාජිකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් වවුනියාව මහාධිකරණ පරිශ්‍රය තුළ නොමැති බව අධිකරණයට දැණුම් දීමෙන් අනතුරුවයි.

වවුනියාව මහාධිකරණයේ විභාග වූ එම නඩු අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමෙන් පසුව එම නඩු විභාගයට ගනු ලැබ ඇත්තේ එක් වතාවක් පමණි.

ඊට පසු දින පටන් චූදිත එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන්දෙනා අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක නිරතව සිටිති.

අනුරාධපුර මහාධිකරණයේදී නඩු විභාග කෙරෙන විට නිසි භාෂා පරිවර්තනයක් සිදු නොවන නිසා තමන්ට සාධාරණයක් ඉටු නොවන බව එම සැකකරුවෝ කියා සිටිති.

ප්‍රවාහනය අඩාල වීමත් සමඟ පාළුවට ගිය බස් නැවතුම් පොළක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවාහනය අඩාල වීමත් සමඟ පාළුවට ගිය බස් නැවතුම් පොළක්

දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා, ජනාධිපති,අගමැති සහ අධිකරණ ඇමතිවරිය වෙත ඊයේ (ඔක්තෝබර් 12) යොමු කරන ලද ලිපියක් මගින් දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරණ මෙන් ඉල්ලීමක් කොට ඇත.

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේස්වරන් විසින්ද එම ඉල්ලීම ඇතුළත් ලිපියක් ආණ්ඩුවේ සියළුම වගකිවයුතු අංශ යවනු ලැබ ඇත.

වසා දමන ලද වව්නියා දෙමළ මහා විද්‍යාලය
ඡායාරූප ශීර්ෂ වැකිය, වසා දමන ලද වව්නියා දෙමළ මහා විද්‍යාලය