ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඌබර් සමාගමට ලන්ඩන් නුවර බලපත්‍රය අහිමියි
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර තුළ පුද්ගලික කුලී රථ ධාවනය සඳහා ඌබර් සමාගමට ලබා දී තිබූ බලපත්‍රය අලුත් නොකරන බව ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනය පවසයි.
ජංගම දුරකථන ඇප් මාර්ගයෙන් කුලී රථයක් ලබාගැනීමේ පහසුකම සහිත ඌබර් (Uber) සමාගම ලන්ඩන් නගරය තුළ කුලී රථ සේවයක් පවත්වාගෙන යාමට සුදුසු ආයතනයක් නොවන බව ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනයේ (Transport for London -TfL) තීරණය වී තිබේ.
ඌබර් සමාගමේ ක්‍රියාකාරිත්වය සහ හැසිරීම වගකීම් විරහිත බව පවසන ලන්ඩන් නුවර ප්‍රවාහන කටයුතු භාර රාජ්‍ය ආයතනය, එම හැසිරීම මගින් බ්‍රිතාන්‍ය අගනුවර මහජන ආරක්ෂාවට බලපෑම් එල්ලවිය හැකි බව ද සඳහන් කරයි.
ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනයේ තීරණයට එරෙහිව අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව කුලී රථ සමාගම පවසයි.
"පාරිභෝගිකයාගේ නිදහස් තේරීම සීමා කිරීමට උත්සාහ දරන කුඩා පිරිසකගේ බලපෑමට ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනය සහ නගරාධිපතිවරයා යට වී," තිබෙන බව ද ඌබර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
"නිර්මාණශීලී සමාගම්වලට දොරටු විවෘත කරනවාට වඩා, ලන්ඩනය ඔවුන්ට දොරටු වසා ඇති," බව ද එම නිවේදනය දැක්වේ.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල ඌබර් සමාගම පුද්ගලික කුලී රථ සේවයක් දියත් කර තිබේ.
සිය ජංගම දුරකථනයට බාගත කරගන්නා 'ඇප් එකක්' (app) හෙවත් මෘදුකාංගයක් මාර්ගයෙන් ඕනෑම පුද්ගලයෙකුට තමන් ආසන්නයේම පිහිටි ඌබර් කුලී රථය ගෙන්වාගත හැකිය.
අදාළ ගමන සඳහා මුදල් ගෙවනු ලබන්නේ ද එම 'ඇප් එක' මගිනි.
ලන්ඩන් නගරය තුළ පමණක් ග්‍රාහකයන් ලක්ෂ 35 ක් සහ රියදුරන් 40,000 ක් ඌබර් සමාගමේ 'ඇප් එක' භාවිත කරති. ලන්ඩන් නුවර තුළ එය තහනම් කෙරෙනු ඇති බවට ප්‍රචාර පැතිර යමින් තිබුණි.
සමාගමේ කුලී රථ මාර්ග අවහිර කරන බවට සහ සිය රියදුරන් නිසි පරිදි පාලනය නොකරන බවට ඌබර් සමාගමට චෝදනා එල්ල වී තිබුණි.
ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් ආයතනයේ තීරණය තමන් අනුමත කරන බව පවසන ලන්ඩනයේ නගරාධිපති සදීක් ඛාන්, ලන්ඩන්වාසීන්ට තර්ජනයක් එල්ල කරන්නේ නම් ඌබර් සමාගමේ බලපත්‍රය දීර්ඝ කිරීම නිවැරදි නොවන බව සඳහන් කළේය.
2014 දී ඉන්දීය තරුණියක් දූෂණය කළ බවට කුලී රථ රියදුරෙකුට චෝදනා එල්ල වීමත් සමග 'ඌබර්' නමැති කුලී රථ සේවය තහනම් කිරීමට දිල්ලි අගනුවර බලධාරීහු පියවර ගත්හ.
'ග්‍රැබ්' සහ 'ඌබර්' (Grab and Uber) වැනි 'ඇප්' හේතුවෙන් ඉතා ජනාකීර්ණ ජකර්තා නගරයේ කුලී රථ එල්ල වීමෙන් සිය ජීවිකාව කර ගත නොහැකි තත්වයක් උදා වී ඇති බවට චෝදනා කරමින් ඉන්දුනීසියාවේ අගනුවර කුලී රථ රියදුරෝ පසුගිය වර්ෂයේ වැඩවර්ජනයක් ද දියත් කළහ.