වැලිකඩ ගැටුම: "සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න"

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කැෆේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

එමෙන්ම අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට වහාම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයට බලකරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල්ගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (සැප් 05) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"මේ රජය සාක්ෂිකරුවන් ආරක්ෂා කරනවා වෙනුවට ඔවුන් අද සිද්ධ කරන්නේ ඝාතකයන් ආරක්ෂා කිරීමක්" යනුවෙන් එම මාධ්‍ය හමුවට එක් වූ සුදේශ් නන්දිමාල් සඳහන් කළේය.

2012 වසරේ නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරණයට පත් වී වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.

සබැඳි යොමු: