ඇමතිවරයෙකුට ලක්ෂ 400 වාහනයක් අවශ්‍යද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
එහි සඳහන්වුයේ අමාත්‍යංශ දෙකක ඇමතිවරුන් දෙදෙනෙකුට ලක්ෂ 430 බැගින් වටිනා වාහන මිලදී ගැනීමක් සම්බන්ධවය.
රට දැඩි ණය බරක සිරවී සිටියදී තමන් පිට බදු පටවා එම ණය පියවීමට ආණ්ඩුව උත්සාහ දරන අතරේ දිගින් දිගටම සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ජනතාව පවසති.
"අපි හැමදාම බස් එකේ. ඒගොල්ලන්ට ලක්ෂ 400 යේ වාහන වැඩක් නැහැ, කොච්චර බැන්නත් වැඩක් නැහැ"
එහෙත්, රාජකාරි සඳහා රට පුරා යාමට ඇති බැවින් සියලු පහසුකම්වලින් සමන්විත වාහනයක් අවශ්‍ය බව ඇමතිවරුන්ගේ මතයයි.
"මරුටි එකකින් හෙවිස්ස කන්ද නගින්න පුළුවන්ද. මට පයින්ද කන්ද නගින්න කියන්නේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වරෙක පිළිතුරු දුන්නේ එලෙසිනි.
කෙසේනමුත් ඒ සඳහා ලක්ෂ 400 ක ලක්ෂ 300 ක වාහනයක්ම අවශ්‍යදැයි යන පැනයට රජයේ ඇමතිවරයෙකු නිසි ලෙස පිළිතුරු දී නොමැත.
BENZ, BMW, LANDCRUISER
ඇමතිවරුන් මෙලෙස ලබාගන්නා වාහන බොහොමයක් BENZ, BMW, LANDCRUISER වැනි සුඛෝපභෝගී වාහන වන අතර ඇතැම් වාහන ක්‍රීඩා (Sports) මාදිලියේ ඒවා වීම ද විශේෂත්වයකි.
වසර 5 ට වරක් ඇමතිවරයෙකුට මෙවන් වාහන දෙකක් ලබාගැනීමේ හැකියාව පසුගිය ආණ්ඩුව සමයේ සිට දී තිබිණි.
බොහෝ ඇමතිවරුන් තම "වාහන ආශාව සන්තර්පණය කරගැනීමට" මෙම පහසුකම යොදාගන්නා බව ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමතිවරයෙකු වන රන්ජන් රාමනායක චෝදනා කළේය.
"මේ පක්ෂ විපක්ෂ අයට තියෙන්නේ රථ ගාය, මම දන්නේ නැහැ ඇයි ඒගොල්ලන්ට සාමාන්‍ය ලක්ෂ 100ක වගේ වාහනයක් ගන්න බැරි, වාහන අවශ්‍යයි අමාත්‍යාංශවලට. ඒ නිසා මම යෝජනා කළා ජනාධිපතිතුමාට සියලු දෙනාටම මොකක් හරි එක වර්ගයේ වාහනයක් දෙන්න කියලා, පිලිපීන ජනාධිපති ඇමතිවරුන්ට දුන්නේ එහෙම වාහන" නියෝජ්‍ය ඇමතිවරයා බීබීසී සිංහල සේවයට පැවසිය.
"මටත් අපේ ඇමතිතුමා BMW ජීප් එකක් ගන්න කිව්වා, මම කිව්වා මට තියෙන ජීප් එක හොඳයි කියලා. අවුරුදු 5ක් පරණ වුනාට හොඳට දුවන්න පුළුවන්, මොකද මේ ජනතාවගේ සල්ලි"
"එච්චරම හොඳ වාහනයක් ඕනෙනම් අපේ මන්ත්‍රී බලපත්‍රයෙන් ගන්න පුළුවන්"
විපක්ෂයේ මතය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙලෙසස ඇමතිවරුන්ට වාහන ලැබෙන්නේ ඔවුන්ට හිමි මන්ත්‍රී වාහන බල පත්‍රයට අමතරවය.
එම බලපත්‍රය ද විකුණා රුපියල් ලක්ෂ 200ට වැඩි ආදායමක් මන්ත්‍රීවරුන් ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.
එම බලපත්‍ර විකිණීම නීති විරෝධී බව පවසමින් නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඇති අතර එය විකිණීමට හැකි බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ද පවසති.
"මන්ත්‍රීවරුන්ට බලපත්‍රය දෙන්නේ ඒගොල්ලන්ගේ ධුර කාලයේ කටයුතුවලට කියලා, නමුත් ඒගොල්ලෝ කරන්නේ මොකක්ද ඒක විකුණනවා, එකෙන් රටට බිලියන 7 ක ආදායමක් අහිමිවෙනවා, අමතරව ලක්ෂ 400ක් වටිනා වාහන ගන්නවා ඇමතිවරුන්, මොකක්ද මේ රට" නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු ප්‍රශන කරයි.
"මේ රටේ ජනතාව ඉවසනවා වැඩියි මේ කරන දේවල්වලට" ඔහු පවසයි











