ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදි රජ කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්ද?
ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව දිවයිනේ නිල සංචාරයක නිරතව සිටින අල්වාලීඩ් බින් තලාල් අබ්දුල් අසීස් අල් සෞද් (Alwaleed Bin Talal Abdulaziz AL Saud) කුමරු පවසයි.
සෞදි රජ පවුලේ සාමාජිකයෙකුවන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඇතුළු එකොලොස් දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් විදේශ අමාත්‍ය රවි කරුණානායක ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිති.
අඟහරුවාදා (ජුලි 04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ අබ්දුල් අසීස් කුමරු, ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
සංචාරක ක්ෂේත්‍රය
එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම පිණිස ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ සවුදි අරාබියට පැමිණෙන ලෙස ඔහු ජනාධිපතිවරයාට ආරාධනා කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
"ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය, හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරය ද, ඓතිහාසික නටඹුන් ද සංචාරක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සඳහා බොහෝ ඉඩ කඩ තිබෙන රටක් බව ඔහු සඳහන් කළේය," යනුවෙන් ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් සෞදි අරාබිය ලබාදුන් සහාය එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇගයීමට ලක් විය.
අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඊට පෙරාතුව අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍යවරයා ද හමු වී සාකච්ඡා පැවැත්විය.
පොදු සමා කාලය
ශ්‍රී ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවයේ යෙදී සිටිති.
මේ අතර රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කර ඇති බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය සඳුදා නිවේදනය කළේය.
සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටී.
මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය තීන්දු කර ඇති බව එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ නිකුත් කළ නිවේදනයක දැක්වේ.