ගංවතුර සහ නාය යාම්: මරණ සංඛ්‍යාව ඉහළට

ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයන් 92 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නිල වාර්තාවලට අනුව ගංවතුර, නාය යාම් සහ දැඩි සුළං හේතුවෙන් පවුල් එක් ලක්ෂ හැත්තෑ පන්දහස් පන්සීය දාසයක් (175,516) පීඩාවට පත්ව සිටිති.

ඒ අතර පුද්ගලයන් හය ලක්ෂ හැත්තෑ හත්දහස් දෙසීය හතළිස් එක් දෙනෙකු (677,241) සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගංවතුර, නාය යාම් සහ සුළං හේතුවෙන් නිවාස 1,735 ට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 9,432 ට අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන විශේෂයෙන් සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වැසි ඇති වන අවස්ථාවලදී දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා සාමාන්‍ය තද සුළං ඇති වන බවත් එන නිවේදනයේ සඳහන් වේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.