"සෑම කාලගුණ අනතුරු ඇඟවීමක් ම හරි ගිහිල්ලා තියෙනවා"

නව තාක්ෂණය නොමැතිවීම ඇතුලු ප්‍රශ්න ගණනාවක් පැවතියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදී තිබෙන සෑම අනතුරු ඇගවිමක්ම නිවැරදි වූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කාලගුණ දෙපාර්තමේන්තුව පළකරන අනාවැකිවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතිනවා නොවේදැයි අද (මැයි 31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"මේක හරි නැහැ කියනවනම් මේක වහල දාන එකයි තියෙන්නේ, වහලා දාල ඇප් එකක් දිහා බලාගෙන ඉන්න"

"කොච්චර කිව්වත් ගෙවල්වලින් යන්න කැමති නැහැ. අපි මේක කොළොන්නාවේ දෙක්කා. ගලනවා කියල කොච්චර කිව්වත් වහලෙට එනකම්ම ඉඳල රෑට කෑගහනවා කරුණාකරලා අපිට බෝට්ටුවක් එවන්න කියලා" යැයි අමාත්‍යවරයා සඳහන් කළේ කෙතරම් අනතුරු ඇගවීම් කළත් ජනතාව තම නිවාස වලින් ඉවත්වීමට සුදානම් නොමැති බව පෙන්වා දෙමිනි.

මේ අතර පසුගිය 26 වැනිදා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලැබූ තිබු අවශ්‍ය බඩු ලැයිස්තු එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසිද්ධ කළ අතර එහි සඳහන් ආකාරයට රජය සතුව ආපදා තත්වයකට මුහුණදීමේදී ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොවූ බව පෙනෙන්නට විය.

හදිසි ආපදා තත්වයකට මුහුණදීමට මෙවන් භාණ්ඩ කල්තියා රැස්කර තැබීම වැදගත් නේදැයි බීබීසිය විමසු අතර එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එළෙස භාණ්ඩ රැස්කර තබාගැනීමක් තම අමාත්‍යාංශය සිදු නොකරන බවය. චක්‍රලේඛ හා රෙගුලාසි අනුව එළෙස තබාගැනීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.

මෙම ලැයිස්තුව විදේශ රටවලට යොමුකළ එකක් බව පැවසූ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එලෙස ලැයිස්තු යැවීමට තමන් විරුද්ධ බවද පැවසුවේය.

"මාත් දැක්කා ඔය ලැයිස්තුව, ඕකත් එක්ක මම එකඟ නැහැ, තානාපති කාර්යාල අහනවා මොනවාද ඕනේ කියලා, ඒ අයට යවපු එකක් මිස පුද්ගලයන්ට යවපු එකක් නෙවෙයි, පුද්ගලයන්ගෙන් කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ"

අත්‍යවශ්‍ය අවස්ථාවක භාණ්ඩ මිලදී ගැනීම සිදුකරනවා මිස ළඟ තබාගැනීමක් සිදු නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

කෙසේ නමුත් ඉදිරියේදී එළෙස භාණ්ඩ ගබඩා කිරීම කළ යුතු බව ද අමාත්‍යවරයා පිළිගත්තේය.