ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි
ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිකළ එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොං හිදී රහසිගතව නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කරයි.
එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ පිලිපීන ජාතිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය ආරක්‍ෂිත රටවල් බව සලකමින්, මෙම දෙපිරිසට ම දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බවත් එම තීරණය "හේතු සහගත නොවන" බවත් ඔවුන්ගේ නීතිවේදියෙක් පැවසීය.
මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට දින 14ක කාලයක් පවතී.
මේ අතරතුර තමන්ට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස මොවුන් කැනඩා රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ.
"ඛේදවාචකයක්"
සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ මෙම පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම 'විස්තර කළ නොහැකි ඛේදවාචකයක්' බව, ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් මීට පෙර පවසා තිබුණි.
වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව ප්‍රකාශකර තිබුණේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් එක්සත් ජනපදයෙන් පළා ගියේය.
ස්නෝඩන් ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද සිනමා කෘතිය එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.