ජීඑස්පී ප්ලස් ආයෙත් නැතිවෙයිද?

අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්)

ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාගැනීමට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය වෙනුවට වෙනත් නීතියක් සම්මත කළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දණ්ඩ නීති සංග්‍රහය වහාම සංශෝධනය කළ යුතු බව ඔවුන්ගේ තවත් නිර්දේශයකි.

යුරෝපා මන්ත්‍රීවරුන්ගේ ලිපියේ අඩංගු ප්‍රධාන කරුණු අතර:

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය ඉවත්කිරීම
  • අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම
  • වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම සහ වද බන්ධන පැණවීම පිළිබඳව පියවර ගැනීම
  • සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත්කිරීම
ඇඟලුම් කර්මාන්තය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එම කරුණු සඳහන් කරමින් පසුගිය අප්‍රේල් 07 වෙනි දින අගමැතිවරයාට යැවූ එම ලිපියට අගමැතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය සඳුදා (අප්‍රේල් 17) නිකුත්කළ ට්විටර් පණිවුඩයක් මගින් ඉඟි කෙරේ.

ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාගැනීම පිණිස අදාළ කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව තිබෙන්නේ සති හතරක කාලයක් පමණක් බවත් එහි සඳහන් වේ.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස යොමු කළ ලිපිය අගමැතිවරයා වෙත ලැබෙන්නට ඇතැයි විශ්වාස කරන බව සඳහන් කළ අගමැති කාර්යාලය භාර නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, යුරෝපා සංගමය සමග පැවති සාකච්ඡාවලින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරතව සිටින බව සඳහන් කළේය.

ආණ්ඩුව ඒ පිළිබඳව යුරෝපා සංගමය සමග නිරන්තර සංවාදයක නිරතව සිටින බවත් ඔහු පැවසීය.

යුරෝපා තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩය

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, යුරෝපා තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කිරීම වැනි කරුණු "ඉතා සංකීර්ණ" බැවින් එයට අදාළ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් සමග සාකච්ඡා කර එවැනි පියවර ගැනීමට ආණ්ඩුවට සිදුවන බව පවසන නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා එබැවින් යුරෝපා සංගමය බලාපොරොත්තුවන තරම් ඉක්මනින් පියවර ගැනීම දුෂ්කර බවත් බීබීසී සිංහල සේවයට පැවසීය.

එසේ නම් යුරෝපා සංගමය බලාපොරොත්තුවන ආකාරයට ලබන මැයි 15 වැනි දින වනවිට අදාළ කොන්දේසි සම්පූර්ණ කිරීමට හැකියාවක් තිබෙන්නේ දැයි විමසූ විට නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව ආණ්ඩුව යුරෝපා සංගමය සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වාගනිමින් සිටින බවය.

"ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටළු මතුවෙලා තියෙනවා නමුත් ඉතාම ඉක්මනින් ඒවා විසඳගෙන ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙනවා."

කෙසේ නමුත් සමලිංගික සම්බන්ධතා නීතිවිරෝධී බවට දණ්ඩ නීති සංග්‍රහයේ පවතින වගන්තිය සංශෝධනය කිරීම ශ්‍රී ලංකාවේ "සංස්කෘතියට සහ ජීවන් රටාවට පටහැනි බැවින්" එය ඉවත් නොකළ යුතුය යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම කොන්දේසි සම්පූර්ණ නොකරම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට එම තීරු බදු සහනය ලබාදෙන්නේ නම් අදාළ කරුණු සම්බන්ධ ප්‍රගතිය පිළිබඳව ලබන දෙසැම්බර් මාසයේ තමන්ට වාර්තා කරන මෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනා යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්ද කරති.