ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?
රටේ දේශපාලන වාතාවරණය තමන්ට වාසිදායක තත්වයක පවතින හෙයින් හදිසි මැතිවරණයකට යාමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තීරණයකර ඇති බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බ්‍රිතාන්‍ය අගමැතිනිය "තුරුම්පුවක් ඇද" ඇති බවය.
"වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තියෙන රටවල අගමැතිවරයා හෝ අගමැතිවරියක් හිතනකොට තත්වය වාසිදායකයි කියල එකවරම ඡන්දයක් කැඳවනවා. ස්නැප් ඉලෙක්ෂන් කියල ඒකට කියන්නේ. මේක ඒ සම්භාව්‍ය සම්ප්‍රදායේ ක්‍රියාන්විතයක් එහෙමත් නැත්නම් තුරුම්පුවක් තමයි ඇදල තියෙන්නේ." යනුවෙන් අචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේය.
ප්‍රධාන විපක්ෂය වන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්‍ෂය දුර්වලවී තිබීමත්, යුරෝපා හවුලෙන් ඉවත්වීමට කැමති සියලුදෙනාගේ ඡන්දය තමා වෙත ඒකරාශී කරගැනීමට හොඳම අවස්ථාව උදාවීමත් ඇයට අතිශය වාසිදායක තත්වයක් උදාකර ඇතැයි ඔහු කියා සිටියේය.
විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර්
"ඇත්තටම තෙරේසා මේ කරන්න හදන දේ හරිම සරලයිනේ. බ්‍රෙක්සිට් එකට ඡන්දය දීපු ප්‍රතිශතයක් තියෙනවනේ. ඒ සම්පුර්ණ ඡන්ද ප්‍රමාණය තමන් දිනා ගන්න හදන්නේ. මං හිතන්නේ ඒක සාර්ථක මෙහෙයුමක් වෙයි. එතුමියගේ පැත්තෙන් බැලුවම ඉතාම බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ." යැයි ඔහු පවසයි.
ඔහු තවදුරටත් කියා සිටියේ 21වැනි සියවසයේ මාගරට් තැචර් වීමේ දේශපාලන ව්‍යාපෘතියක් අගමැතිනි තෙරේසා මේ දියත් කර ඇති බවය.
"අපි තේරුම් ගන්න ඕන තෙරේසා මේ ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ කියල. ඇත්තටම කරන්න හදන්නේ විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර් බවට පත්වෙන්න. නමුත් මාගරට් තැචර් ලයික්. ඒ කියන්නේ මාගරට් තැචර්ගේ තිබුණු අර දරදඬු ගතිය නැතුව ඊට වඩා මෘදු, නම්‍යශීලී, නවීන මුද්‍රණයක්. ඒක තමයි ඇගේ දේශපාලන ව්‍යාපෘතිය. ඒක හරියන පාටක් තමයි දැනට තියෙන්නේ." යනුවෙන් ආචාර්ය දයාන් ජයතිලක විග්‍රහ කළේය.