මීතොටමුල්ල ඛේදවාචකය: තිහක් අතුරුදහන්

අතුරුදහන්වූවන් සොයා දිගටම මෙහෙයුම්
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන්වූවන් සොයා දිගටම මෙහෙයුම්

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් තිස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය සිකුරාදා (අප්‍රේල් 14) අනතුර සිදු වීමෙන් පසු අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

නාය යාමට ලක් වූ කුණු කන්දට යට වී මරණයට පත් සංඛ්‍යාව විසි අට දක්වා ඉහළ ගොස් තිබේ.

මෙතෙක් සොයාගන්නා ලද මළසිරුරු අතර දරුවන් හය දෙනෙකුද සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු හෙළිකිරීමට තවමත් හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය.

line
line

යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති.

A bako machine works near damaged houses during a rescue mission after a garbage dump collapsed and buried dozens of houses in Colombo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කුණු කන්ද ආසන්නයේ පිහිටි නිවාස සියයක් පමණ වැළලී ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු බිය පළ කරති.

දළ වශයෙන් නිවාස 145 කට පමණ අනතුරෙන් භානි සිදු වී ඇති බව බලධාරීහු පවසති.

දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වද්දීත් කුණු කන්ද ඉවත්කර නොගැනීම හේතුවෙන් පැවති රාජපක්ෂ පරිපාලනය මෙන්ම වත්මන් ආණ්ඩුවද අහිමි වූ ජීවිතවල වගකීම භාරගත යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

වත්මන් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතු බව ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මීට ඉහතදී බීබීසී යට පැවසීය.

මේ අතර කුණු කන්ද කළමනාකරණය සඳහා අවස්තාව සලසා නොදුන් බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය එල්ල කරන චෝදනාව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.