ජෝන් ද සිල්වා සමරු රඟහලත් පෞද්ගලික අයිතියට?

දීපානි සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, Deepani Silva/FB

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා

රජයට අයත් ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පවරා දීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් පිළියෙළ කරමින් ඇති බව දැනගැනීමට ලැබී ඇතැයි සමාජවාදී කලා සංගමය පවසයි.

එම් සංගමයේ සාමාජිකා ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආණ්ඩුවට ප්‍රමාණවත් මුදල් නොමැති බැවින් පෞද්ගලීකරණ ක්‍රියා මාර්ගයකට යොමු වී ඇති බවය.

පෞද්ගලික අංශයේ ප්‍රධාන අරමුණ ලාභ ලැබීම බව කී නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා, එවැනි පවරා දීමක් සිදු වුවහොත් තමන්ට දැරිය හැකි මිලකට රඟහල භාවිතයට ගැනීමේ අවස්ථාව අහිමිවනු ඇති බව සඳහන් කළාය.

"දැන් නෙළුම් පොකුණට මොකද වෙලා තියෙන්නේ? ඒක නාට්‍යකරුවන් වෙනුවෙන් හැදුවේ නමුත් නාට්‍යකරුවෙකුට අත තියන්නවත් බැරි තරමේ ගණන් මිනුම් එතන තියෙන්නේ. ටවර් හෝල් රඟහලත් දැන් ඒ වගේ" යනුවෙන් ඇය පැවසුවාය.

ඇමති වාහන

"හරිම කණගාටුදායකයි. රජය සල්ලි නැහැ කියනවා. රජයට සල්ලි තියෙන්නේ ඇමතිවරුන්ගේ අමාරු කම්වලට අලුත් වාහන අරන් දෙන්න" යනුවෙන් කී ඇය පෞද්ගලික ආයතනයකින් සාධාරණ මිලකට රඟශාලා ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බව සඳහන් කළාය.

වේදිකා නාට්‍ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රජයේ රඟහල් ප්‍රමාණය අඩුවන විට පෞද්ගලික අංශයේ රඟහල්වල මිල ගණන් ඉහළ යන බවත් ඇය පෙන්වා දෙයි.

රටේ පවතින දුබල ආර්ථිකය හමුවේ ඉහළ මිලක් ගෙවා නාට්‍යයක් නැරඹීමට රසිකයන්ට හැකියාවක් නොමැති බව පෙන්වාදුන් සමාජවාදී කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා එවැනි තත්වයක් හමුවේ තමන්ට වැඩි මිලක් ගෙවා රඟහල් වෙන්කරවා ගැනීමේ ශක්තියක් නොමැති බව පැවසුවාය.

රජයට අයත් ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පවරා දීමට යන බවට පළවන වාර්තා පිළිබඳ විමසීම සඳහා බීබීසී සිංහල සේවය සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය එස්.බී නාවින්න සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.