ලීටරයට අඩු ප්ලාස්ටික් බෝතල් තහනමක්?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පරිමාව ලීටරයට අඩු ප්ලාස්ටික් සිසිල්බීම බෝතල් අලෙවිය තහනම් කිරීම සඳහා අවධානය යොමුවී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ප්ලාස්ටික් බෝතල් භාවිතය අඩුකිරීමේ මූලික පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගනු ලබන බව පෙන්වාදෙන මධ්‍යම පරිසර අධිකාරියේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ ජේ.එම්.යු ඉන්ද්‍රරත්න, අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියාසිටියේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි.
කෙසේවුවද,ජලය ගබඩාකිරීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සඳහා එම තහනම බලනොපාන බවත් ඔහු සඳහන් කළේය.
ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත භාවිතයට ගතහැකි වීදුරු බෝතල් භාවිතා කරන ලෙස අදාළ සිසිල් බීම සමාගම්වලට යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
'ශ්‍රී පාදය'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මධ්‍යම පරිසර අධිකාරිය පවසන පරිදි 2016 වසරේ ශ්‍රී පාද වන්දනා සමය අවසානවන විට පමණක් ප්ලාස්ටික් බෝතල් ටොන් 5.5 ක් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 830 ක් එම ප්‍රදේශයෙන් හමු වී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂක ජේ.එම්.යු ඉන්ද්‍රරත්න පෙන්වා දෙන පරිදි ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු වන්නේ 15% ක ප්‍රමාණයක් පමණි.
"මේකෙන් 85% ක් පරිසරයට මුදා හැරෙනවා. කුණු දමන තැනක බැලුවත් ඒකේ ප්ලාස්ටික් බෝතල් විශාල ප්‍රමාණයක් අපට දකින්න ලැබෙනවා" යනුවෙන් ඔහු පැවසීය.
සෞඛ්‍ය ගැටලු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එලෙස එක්රැස්වන ප්ලාස්ටික් බෝතල් පුළුස්සා දැමීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කිරීම හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු ද ඇතිවන බව ඔහු පෙන්වාදෙයි.


ප්ලාස්ටික් බෝතල්වලට අමතරව අනෙකුත් ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බලපාන යෝජනා ගණනාවක් ඒ සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව මගින් නිර්දේශ කර ඇති බව ඔහු පවසයි.
මේ අතර ලීටරයට අඩු ප්ලාස්ටික් බීම බෝතල් අලෙවිය තහනම් කිරීමේ යෝජනාවට සිසිල් බීම නිෂ්පාදක සමාගම්වලින් විරෝධය පළවෙමින් ඇතිබව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.









