ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තුවේ කටයුතු අදත් ඇනහිටියි
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද (10) පාර්ලිමේන්තු සැසිය තුළ වැඩි කාලවේලාවක් වෙන් කිරීමට කතානායක කරු ජයසූරිය පියවර ගැනීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබෙන් ඉවත්ව යාමෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයාට සිදුවිය.
ජාතික නිදහස් පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීම සඳහා කරන ලද ඉල්ලීමක් කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා පසුගිය අඟහරුවාදාත් (08) පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාද විවාද මැද ගැටුම්කාරී තත්වයක් ඇතිවිය.
අද (10) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කථානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කතාකිරීමේ අවස්ථාව දුන් අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කළහ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට කතා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වී ඇති අතර ඉන් පසු සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි බව කතානායකවරයා ප්‍රකාශ කළත් ආණ්ඩු පක්ෂය ඊට එකඟ නොවුණි.
අනතුරුව කථානායක තීන්දුවට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිලක සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබෙන් පිටව ගිය අතර, පාර්ලිමේන්තුව මාර්තු 21 වැනි දින දක්වා කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.