ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාසල් ශිෂ්‍යයෝ සහ උද්ඝෝෂණ: චක්‍රලේඛය මැද පාගමනක්
පාසැල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණ වලට සහභාගි කරවා ගැනීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත්කරන අතරවාරයේ, අද වවුනියාවේ පැවති උද්ඝෝෂණයකට විශ්ව විද්‍යාල සිසුන්ට අමතරව පාසල් ළමුන්ද එක් වී සිටියහ.
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය ලෙස නම් කරණ මෙන් වවුනියාවේ පැවති උද්ඝෝෂණයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉල්ලා සිටියහ.
බාහිර පුද්ගලයන් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල් වලට ඇතුළුවීම මෙන්ම සිසුන් ඇමතීම ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් තහනම් කර තිබුණි.
රජයේ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව වෙනත් අන්තගාමී මතවාද පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමට ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කටයුතු කරන බවට දෙමව්පියන් කළ පැමිණිලි සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත්කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.
කෙසේවුවද අද පැවති උද්ඝෝෂණයේදී බැනර් සහ විරෝධතා පුවරු රැගත් පාසල් සිසුන් රැසක් ද පෙළපාලියේ ගමන් කරන ආකාරය දක්නට ලැබුණි.
විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ දෙමවුපියන්, පාසල් සිසුන් සහ පළාතේ ස්වේච්ඡා සංවිධාන වල නියෝජිතයෝ ද එයට සහභාගි වී සිටියහ.
පාගමන අවසානයේ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් විශේෂ සන්දේශයක් ජනාධිපතිවරයාට යැවීම පිණිස වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර වෙත බාර දෙන ලදී.
වසර විසිපහක් තිස්සේ මණ්ඩපයක් වශයෙන් පවතින යාපනය විශ්ව විද්‍යාලයට අයත් වවුනියාව මණ්ඩපය යාපනය විශ්ව විද්‍යාලයෙන් වෙන්කොට ''වන්නි විශ්ව විද්‍යාලය'' නමින් වෙනම විශ්ව විද්‍යාලයක් බවට පත් කරණ ලෙස උද්ඝෝෂකයෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටිති.