අයාලේ යන යාල 'සෆාරි'

යාල සෆාරි

බලධාරීන්ගේ නිසි නියාමනයක් නොමැතිකමින්, සංචාරකයින් පිනවීම සඳහා ඇතැම් සෆාරි ජීප් රථ රියදුරන් නීති උල්ලංඝනය කරමින් යාල අභයභූමිය තුළ රිය පදවන බවට යාල සෆාරි ජීප් රථ සංගමය චෝදනා කරයි.

එම රියදුරන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වනසතුන්ට මෙන්ම සංචාරකයින්ට ද ජීවිත අවදානමක් පවතින බව ඔවුහු පවසති.

වීඩියෝ ශීර්ෂ වැකිය, අයාලේ යන යාල 'සෆාරි'

"යාල මේ වන විට පවතින ප්‍රධාන ගැටලුව තමයි වාහන තදබදය මෙන්ම නුපුහුණු රියදුරන්. ඒ නිසා යාල වනසතුන්ට යම් යම් බාධා එල්ල වෙනවා. හැමදෙනාටම සතුන්ගේ චර්යාවන් පිළිබද පුහුණුවක් අවශ්‍යයි. ඒක ලබාදෙන්න ඕන. අපි මේ කාරනා සම්බධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් දැනුවත් කළත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් පියවරක් නොගැනීම තුළ මේ තත්වය උග්‍රවෙමින් පවතිනවා." යනුවෙන් යාල සෆාරි ජීප් රථ සංගමයේ සභාපති පි ඩි කීර්ති, බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

යාල සෆාරි

දාහත් වසරක් තිස්සේ යාල සෆාරි සේවයේ නියුතු සම්පත් ගලප්පත්ති කියා සිටියේ බලධාරීන්ගේ නියාමනයක් නොමැතිවීම හේතුවෙන් යාල අභයභූමිය තුළට සීමාව ඉක්මවා වාහන ඇතුළුවන බවය.

"මේ තත්වයට ප්‍රධාන හේතුව වනෝද්‍යානයට ඇතුළුවන ජීප් රථ ප්‍රමාණය සිමා ඉක්මවා යාම සහ නියාමනයක් නොමැතිකම. මේ ආකාරයෙන් ජීප් රථ රියදුරන් නීති උල්ලංගනය කරමින් හැසිරීම නිසා සතුන්ගේ ස්වභාවික චර්යාවන්ට බොහෝසේ බධා ඇතිවෙනවා. වනජීවී සංරක්ෂණයට ඔවුන් දායකවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යාලට ඇතුළුවන රථවාහන ප්‍රමාණය කළමනාකරණයට නිසි පියවරක් ගත යුතුයි." යනුවෙන් ඔහු පැවසීය.

මෙම චෝදනා පිළිබඳව කළ විමසීමකදී යාල උද්‍යාන භාරකරු ඩී පී සියාසිංහ කියාසිටියේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සෆාරි ජීප් රථ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මුර සංචාර ක්‍රියාත්මක වන බවය.

yala

එවැනි රියදුරන්ගේ ජීප් රථ තහනමට ලක් කෙරෙන බව ද ඔහු පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්. එච්. ඩි. පතිරත්න කියා සිටියේ මෙම තත්වය පාලනය කිරීම සඳහා සැලසුම් ඇති නමුත් ඒ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බැවින් එය කඩිනමින් කළ නොහැකි බවය.