ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රැයකින් තරුවක් වූ අසේල
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉරිදා පැවැත්වුණු දෙවෙනි විස්සයි විස්ස තරගයේදී පන්දු 46 කට මුහුණදී නොදැවී ලකුණු 84 ක් රැස් කළ අසේල ගුණරත්නට දෙස්, විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ ප්‍රණාමය පළවෙමින් පවතී.
ලන්ඩනයේ නොමිලේ බෙදාහරින මෙට්‍රෝ පුවත්පත, අසේල ගුණරත්නගේ පිතිහරඹයද සතියේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ අවස්ථාවක් ලෙස සටහන්කර තිබුණි.
විශේෂයෙන්ම ලකුණු 40 කට කඩුලු පහක් දැවී ඉතා අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවායාමට යොවුන් ක්‍රීඩක අසේල පෑ පිතිහරඹය ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද ක්‍රීඩාලෝලීන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්වෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස් සමගි කිරීමේ, අන් කිසිදු අංශයකට නොමැති හැකියාවක් ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන බව Island Cricket වෙබ් අඩවියේ ඩැනියෙල් ඇලෙක්සන්ඩර් ට්විටර් පණිවුඩයක සටහන් කරයි.
තරගය නිමාවීමත් සමගම ට්විටර් පණිවුඩයක් නිකුත්කරන එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මයිකල් වෝන්, අසේල ගුණරත්න ක්‍රීඩා පිටියේ සිය 'අලුත් වීරයා' බව පවසයි. ලී බර්ට් නම් ක්‍රීඩාලෝලියා එයට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හතක් දැවීගිය විට තමන් රූපවාහිනිය වසා දැමු බවය.
එංගලන්තය, ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඕස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියාය.
මේ අතර ෆේස්බුක් ජාලය ඔස්සේ අදහස් දක්වමින් ඩේලි මිරර් පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකාව සමග තරග වැදුනේ ඕස්ට්‍රේලියාවේ 'ඒ' කණ්ඩායම බවය.
එහෙත් බොහෝ ක්‍රීඩා විචාරකයන් එම ප්‍රකාශයට විරෝධය පළකර තිබුණි.
ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් කණ්ඩායම ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව තරග වදින අතරවාරයේ, විස්සයි විස්ස කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාව සමග තරග වදිමින් සිටී.