ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කුරුගඟේ ජල අයිතිය අපේ'
කුරුගඟ හරස්කොට එරත්න ප්‍රදේශයේ අලුතින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1.8ක ධාරිතාවෙන් යුත් කුඩා පරිමාණයේ පෞද්ගලික ජලවිදුලි බලාගාරය අත්හිටුවන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලාසිටිති.
එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සබරගමු පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක්ද එම විරෝධතා ව්‍යාපාරයට එක්වූ අතර යෝජිත ව්‍යාපෘතිය නතරකරන මෙන් ඔවුහු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
සීතගඟුල නමින් හදුන්වන 'වර්ණගල' නම් ස්ථානයේ සිට කුරුගඟේ ජලය 'එරත්න' ප්‍රදේශයේ ඉදිකෙරුණ විදුලිබලාගාර දෙකක් සඳහා කිලෝ මීටර් හයක දුරක් දැනටමත් ගෙනයනු ලබන්නේ නළ මාර්ගයෙනි.
මේ අතර 'මරුකන්ද' නම් කුඩා පරිමාණයේ තවත් විදුලි බලාගාරයක් සඳහා 'කුඩා දුන්හිඳ' දිය ඇල්ලට ඉහළින් කුරුගඟ හරස් කර වේල්ලක් ඉදිකර තවත් දුරක් නළ මගින් ගඟේ ජලය ගෙනයාම නව සැලැස්මයි.
රජයේ බලපත්‍ර ඇතිව ස්ථිර නිවාස ඉදිකර ගනිමින් කෘෂිකර්මාන්තයේ නිරතවෙමින් වසර ගණනාවක් කුරුගඟ අවට ජීවත්වෙන ජනයාගේ ඉඩම් මතින් අලුත් බලාගාරය සඳහා බලහත්කාරයෙන් නළ එළන බව විරෝධතාවාදීහු පවසති.
'මරුකන්ද' විදුලි බලාගාර ව්‍යාපෘතිය පෙරට ගියහොත් එය කුරුගඟ හරස්කොට ඉදිකෙරෙන සිව්වන බලාගාරය බවට පත්වන අතර, නව සැලසුම් අනුව ගංගාවේ ජලය කිලෝමීටර් අටකට ආසන්න දුරක් නළ මගින් පහළට ගෙන යාමෙන් එම කලාපයේ වාසය කරන පවුල් දහස් ගණනකට පොදු ජල පහසුකම් අහිමි කෙරෙන බවත් විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ජනතාව පෙන්වා දුන්හ.
මේ අතර අභිනව වේල්ල ඉදිකිරීමට නියමිත ස්ථානයට ඉහළින් ජීවත්වෙන කණ්ඩායමක් 'මරුකන්ද බලාගාර ව්‍යාපෘතිය' පෙරට ගෙනයන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බවක් ද වාර්තාවෙයි.
ගමේ පන්සලට චෛත්‍යයක්, රෝහලට ඖෂධ සහ සැත්කම්වලට ලක්කෙරෙන රෝගීන් සඳහා මුදල් ආධාර සැපයීමට බලාගාරය ඉදිකරන සමාගම උපකාර කරන නිසා එය පෙරට ගෙන යායුතුබව ඔවුහු කියාසිටියහ.