ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොසළකා හැරලා -පැෆරල්

පළාත් පාලන මැතිවරණය කල්යන සෑම දිනයකම වගකීම විෂයභාර අමාත්‍යවරයාත්, සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයා හා රජයත් වගකිව යුතු බව පැෆරල් සංවිධානය අවධාරණය කරයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වන ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) මේ බව කියා සිටින්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ඔවුන් එම නිවේදනය මගින් විෂයභාර අමාත්‍යවරයාගෙන්ද සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයාගෙන්ද අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තවදුරටත් අවමානයට ලක් නොකර පළාත් පලාන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසය.

සීමා නීර්ණය

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

පසුගිය රජය සමයේ පිහිටුවනු ලැබූ මුල් සීමා නීර්ණය කොමිසම දේශපාලන අවශ්‍යතා වලින් බැහැරව ස්වාධීනව කටයුතු කිරීමට අපොහොසත් වූ බවටත් වර්තමාන කමිටුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුළුමනින්ම නොසළකා හරිමින් සිටින බවටත් පැෆරල් සංවිධානය චෝදනා කරයි.