ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක 'ඩෙංගු වසංගත තත්වයක්'

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල එම තත්වය පවතින බවයි, අමාත්‍යවරයා උපුටා දක්වමින් වාර්තාවක් පළ කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම වසංගත තත්ත්වය තුරන් කිරීමේ අරමුණින් සඳුදා සිට අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් අදාළ දිස්ත්‍රික්කවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙනසුරාදා රාත්‍රියේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වන තුරු අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 30 ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කර තිබේ.

ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීම සම්බන්ධ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටද එහිදී තීරණය කෙරිණ.

2016 වසරේ මේ වනවිට 77 දෙනකු ඩෙංගු රෝගය වැළඳී මියොගොස් ඇති අතර, ගතව ගිය මාස 12 ඇතුළත ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 47834ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

එයින් අඩකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.