ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉඩම් බැංකු: "බියකරු සැලැස්මක පෙරනිමිති"
විදේශ සමාගම්වලට ඉඩම් ලබා දී, ශ්‍රී ලංකාවේ ගොවීන් ඇතුළු සුළු පරිමාණ වගාකරුවන් අතර පවතින කෘෂිකර්මාන්තය සීමිත පිරිසක් අතට පත් කිරීමේ 'බියකරු සැලසුමක්' පවතින බවට ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය අනතුරු අඟවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර 15,000 ක් චීන සමාගම්වලට ලබා දීම ඇතුළු විදෙස් සමාගම්වලට මහා පරිමාණයෙන් ඉඩම් ලබා දීමේ සැලැස්මක් පවතින බව මෙවර අය වැය යෝජනා තුළින් පැහැදිලිවන බවටත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය චෝදනා කරයි.
එම සැලැස්මේ කොටසක් වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අහෝසි කොට ඉඩම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩම් බැංකුව වැනි නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බවට තොරතුරු ලැබී ඇති බව එම සන්ධානය නියෝජනය කරන ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
"විශේෂයෙන්ම ඉඩම්, ස්වාභාවික සම්පත් සාමාන්‍ය ජනතාවගෙන් උදුරා ගෙන සීමිත පිරිසක් අතට පත් කරන සැලැස්මකට තමයි වත්මන් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික සැලැස්ම ගමන් කරමින් ඉන්නේ," ඔහු පැවසීය.
'ජීවය නැති සංවර්ධන- අවසන ව්‍යසනයකි'
"දැනට සුළු නිෂ්පාදකයන් අත බෙදී පවතින ඉඩම් මහා පරිමාණ ක්‍රියාවලියකට නතු කිරීමේ ආණ්ඩුවේ සැලසුමක් පවතින බවට උදාහරණයක් තමයි, මෙවර අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කියා සිටියා මාදුරුඔය දකුණු ඉවුර මුල් කර ගනිමින් ඉඩම් අක්කර විසි දහසක් අපනයන වෙළඳපොළ අරමුණු කරගත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා යොමු කරන බව."
සුළු පරිමාණ ඉඩම්වලින් ඔබ්බට ගොස් අක්කර සිය ගණනක ඉඩම් පද්ධතියක් සේ සලකා ඒ මත ගොඩනගන කෘෂිකර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලියක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ඉන් පැහැදිලිවන බව චින්තක රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවේ එම ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා බියකරු චිත්‍රයක් මතු කරන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය, එය විග්‍රහ කරන්නේ 'ජීවය නැති සංවර්ධනය - අවසන ව්‍යසනයකි' යනුවෙනි.