දශක පහකට පසු ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්

Jackie Chan and Sylvester Stallon

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සිල්වෙස්ටර් ස්ටැලෝන් අතින් සම්මානය ලබාගත් ජැකී චෑන්

පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලැබීය.

අට වැනි වියේදී පළමුවරට චිත්‍රපටයක පෙනී සිටි චෑන් සිනමා නිර්මාණ දෙසීයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ.

1995 වසරේදී තිරගත වූ 'Rumble in the Bronx' චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනාගත් චෑන් 'Rush Hour'චිත්‍රපට ත්‍රිත්වය 'The Karate Kid'වැනි හොලිවුඩ් නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය.

"චිත්‍රපට දෙසීයකට වැඩිය නිර්මාණය කරලා අවුරුදු පනස් හයක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉඳලා අවසානයේ මේ සම්මානය ලැබුණා." හැට දෙහැවිරිදි වියේ පසු වන චෑන් සිය ඔස්කාර් සම්මානය අතැතිව පැවසීය.

Anne V Coates, Jackie Chan, Frederick Wiseman and Lynn Stalmaster

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජැකී චෑන් සෙසු සම්මාන ලාභීන් සමග

හොලිවුඩ් පුරවරයේ පැවති විශේෂ සම්මාන උළෙල ඔස්කාර් පාලක මඩුල්ල විසින් සංවිධානය කරන ලද අතර එහිදී චිත්‍රපට සංස්කාරකවරියක් වන ඈන් වී කෝට්ස්, චරිත අධ්‍යක්ෂක ලින් ස්ටැල්මාස්ටර් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වනෆ්‍රෙඩ්රික් වයිස්මන් යන අය ද සම්මාන ලබා ගත්හ.

සිල්වෙස්ටර් ස්ටැලෝන්, ඩෙන්සෙල් වොෂිංටන්, නිකෝල් කිඩ්මන්, රිචර්ඩ් ගියර් ඇතුළු සිනමා තරු රැසක් සම්මාන උළෙලට සහභාගී වී සිටියහ.