ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැලේසියාව: හොට් ඩෝග් යෙදුම 'ඉවත් නොකළොත්' හලාල් සහතිකය නැහැ
'හොට් ඩෝග්' (Hot Dogs) සඳහා වෙනත් ආදේශක නාමයක් භාවිත නොකරන්නේනම් හලාල් සහතිකය අහිමි විය හැකි බව මැලේසියාවේ පිහිටි ක්ෂණික ආහාර අලෙවිසැල් වෙත දන්වනු ලැබ තිබේ.
මැලේසියාවේ ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක රජයේ ආයතනයක්වන ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉස්ලාමීය සංචාරකයන්ගෙන් ලද පැමිණිලිවලින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බවය.
'හොට් ඩෝග්' යන නාමය "ව්‍යාකූලතාවකට" හේතු විය හැකි බව පැවසූ ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී, 'ඉස්ලාම් ධර්මයට අනුව, සුනඛයා අපවිත්‍ර සතෙකු ලෙස සැලකෙනවා. එවැනි නමක් හා හලාල් සහතිකය අතර සම්බන්ධයක් පැවතිය නොහැකියි,' යැයි සඳහන් කළේය.
ජනතාව අතර ප්‍රචලිත 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ මැලේසියානු ශාඛා තුළ අලෙවිකරන 'Pretzel Dog' ආහාරයේ නම වෙනස් කරන තෙක් ඒ සඳහා ලබා දී තිබූ හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
එහි අලෙවි කෙරෙන 'Pretzel Dog' සඳහා 'Pretzel Sausage' යන නාමය භාවිතකිරීම "වඩාත් උචිත" බව ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී පවසයි.
එම තත්වය "සුළු ගැටලුවක්" වශයෙන් හඳුන්වන 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ නියෝජිතයකු කියාසිටියේ එහි නම වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය සමාගමේ විරුද්ධත්වයක් නොමැති බවය.
'හොට් ඩෝග්' සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව දැඩි ලෙස විවේචනය කළ මැලේසියාවේ සංචාරක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය නස්රී අසීස් එම තීන්දුව හැඳින්වූයේ "අමනෝඥ මෙන්ම පසුගාමී ක්‍රියාවක්" ලෙසය.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් හට ගෙන තිබේ.
බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන මැලේසියාවේ ජනතාව ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන නමුත් ගතානුගතික ආකල්ප වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් දැක ගත හැක.