ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදින්: සයිටම් අස්ථි කොටස් DNA පරීක්ෂණයකට
මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහලේ තිබී සොයාගත් අස්ථි කොටස් ඩි.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කරයි.
වසීම් තාජුදින් ඝාතන නඩුව බදාදා යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් එම නියෝගය ලබා දුන් බවයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිශ්බාක් සත්තාර් කියා සිටියේ.
''සයිටම් විදුහලේ තිබී කලවා අස්ථි කොටස් 19 ක් සහ පපු අස්ථි කොටස් 7 ක් සොයා ගත් බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. එම අස්ථි කොටස් අතර වසීම් තාජුදින්ගේ අස්ථි කොටස් තිබේ දැයි සොයා බැලීම සඳහා ඩි.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවයි පොලිසිය කියා සිටියේ,''
'රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය එම අස්ථි කොටස් ඩි.එන්.ඒ පරීක්ෂණ සඳහා යොමු කරන මෙන් නියෝග කළා.' නීතිඥ මිශ්බාක් සත්තාර් සඳහන් කළේය.
එහිදී රජයේ නීතිඥවරයා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රමාදයක් පවතින බවයි.
කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස එම තත්වය උද්ගතව තිබේ දැයි සැකයක් මතු වී තිබෙන බව කියා සිටි රජයේ නීතිවේදියා අදාළ පරීක්ෂණ කඩිනම් කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ කරුණු අධ්‍යයනය කර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන බවයි.
අනතුරුව තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අය ලබන 19 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමටද අධිකරණය නියම කළේය.