මන්ත්‍රී සැප වාහන: තවත් කෝටි දෙසීයක්!

ණය මුදල ලබාගැනීමටත් පෙර වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීම ඉතා බරපතල තත්වයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ණය මුදල ලබාගැනීමටත් පෙර වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීම ඉතා බරපතල තත්වයක්'

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් වාහනයක් ගෙන්වීම සඳහා ණය මුදලක් ද එම මන්ත්‍රීවරුන්ට ලබා දීමේ උත්සාහයක් දියත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙසීයක මුදලක් මුදාහැරීමට බැංකුවට සිදු වනු ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ.

ලබා දී ඇති වාහන බලපත්‍රය මගින් පමණක් ලක්ෂ 280 ක් දක්වා වූ තීරු බදු සහනයක් මන්ත්‍රීවරුන්ට ලැබෙන බව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණය සඳහා මෙවැනි ධනස්කන්දයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණය සඳහා මෙවැනි ධනස්කන්දයක්?'

මෙවැනි ණය මුදලක් ලබාදීමටත් වඩා එම ණය මුදල ලබාගැනීමටත් පෙර මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීම ඉතා බරපතල තත්වයක් බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කරන්නේ.

කෙසේ නමුත් එම ණය මුදල ලබා නොගැනීමට සිය පක්ෂය තීරණය කළ බවත් ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ වෙන් කිරීම කිසිසේත්ම සාධාරනීකරණය කළ නොහැකි බවයි.

'මම පාවිච්චි කරන්නේ කලින් ඇමතිවරයෙක් පාවිච්චි කළ වාහනයක්. ඒ වගේ වාහන දහස් ගණනක් ගාල් කරලා තියෙනවා. ඒවා හෝදලා රෙපයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉන්නේ රටේ ණය ගෙවා ගන්න බැරි තත්වයක.' නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසීය.

මේ පිළිබඳව විමසීම පිණිස මුදල් අමාත්ය රවී කරුණානායක ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක නොවීය.