ජල හිඟයෙන් පීඩා විඳින තලංගම වැසියෝ

බළන්ගොඩ තලංගම

බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය නොමැතිකම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත් වී සිටින බවට බළන්ගොඩ තලංගම ජනතාව මැසිවිලි නගති.

බළන්ගොඩ නගරයට කිලෝ මීටර් තුනක පමණ දුරින් පිහිටි තලංගම ග්‍රාම සේවා වසමට අයත් රන්දොලවත්ත ඇතුළු ගම්ම්මාන රැසක පවුල් දෙසිය පනහක් පමණ ජල හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින බවයි බීබීසී සිංහල සේවය වෙනුවෙන් එහි ගිය අජිත්ලාල් ශාන්තඋදය වාර්තා කළේ.

කඳුකර ප්‍රදේශයක පිහිටි ගම්මානයේ පවතින ජල හිඟය හේතුවෙන් දැඩි අපහසුතා මැද සිය දෛනික වැඩ කටයුතු කර ගෙන යාමට සිදු වී ඇති බවයි ගම්වැසියන් පවසන්නේ.

ජල හිඟය හේතුවෙන් පාසල් යන සිය දරුවන්ද දැඩි පීඩාවකට පත් වී සිටින බවයි ඔවුන් සඳහන් කළේ.

කෙසේවෙතත් පරම්පරා තුනක සිට පවතින ජල ගැට‍ළුවට විසඳුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් අසමත් වී ඇති බවත් ගම්වැසියෝ කියා සිටිති.

රෙදි සේදීම, දිය නෑම ආදී කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට කිලෝ මිටර් තුනක් පමණ ගමන් කිරීමට සිදු වන බවත් ඔවුහු පැවසූහ.

බළන්ගොඩ තලංගම
බළන්ගොඩ තලංගම ජල ගැටලුව

පොදු බස් රථය නොමැති අවස්ථාවලදී ඒ සඳහා ත්‍රි රෝද රථයකට රුපියල් සියයක් ගෙවීමට සිදු වන බවත් වතුර බවුසරයක් සඳහා රුපියල් දෙදහස් පන්සීයක් අය කරන බවත් ගම්වැසියෝ සඳහන් කළහ.

ගම්මානයට යාබදව පිහිටි ළිඳෙන් ජලය ලබා ගැනීමට සීමා පනවා ඇති බවටත් ගම්වැසියෝ මැසිවිලි නගති.

භාජනවලට ජලය රැස් කොට තබා ගත් වැසියන් කීප දෙනෙකුටම ඩෙංගු මර්දන සේවා විසින් දඩ මුදල් නියම කරනු ලැබූ බවත් ඔවුහු කියා සිටියහ.